සුනාමියෙන් ආ ජාතික සුරක්ෂිතතා දිනය

අශන්ති වරුනසුරිය

2004 වසරේ දෙසැම්බර් මස 26වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබීය.  ඒ අනුව මෙවර ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබේ.

මීට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් විය.

අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජාතික සුරක්ෂිතතා දිනය මෙවර සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නීති රීති අනුගමනය කරමින් සැමරීමට කටයුතු යොදාඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද දිනය පුරා සර්ව ආගමික වැඩසටහන් සිදුකිරීමට නියමිත බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම සිදු කරයි.

ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු කරන ලදී. 2020 වර්ෂයේ දී ද රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේසහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදු කරයි.

ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම්කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින්කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු සංවිධානය කර ඇත.

ආපදාවට මුහුණ දීමේ සහ එය නිසිපරිදි කලමනාකරණය කරගැනීම සදහා විධිමත් යාන්ත‍්‍රණයක අවශ්‍යතාව රටට පෙන්වා දුන් සුනාමි ව්‍යසනය විපතකදී ජාතියක් ලෙස එකමුතුව ක‍්‍රියා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබූ බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ස්වභාවික සම්පත් සම්බන්ධ රීතීන්ට ගරු කිරීම, පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය කිරීම ආදිය තුළින් ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමේ පූර්ව සංවේදිතාවක් ඇති කර ගත හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඒ තුළින් පසු හානි සහ උපද්‍රව අවම කරගත හැකි බවත් ඒ සදහා සියලූ දෙනාටම නොසලකා නොහැරිය යුතු පුරවැසි වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

රජයක් ලෙස ස්වභාවික ආපදා සහ විපත් වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම මෙන්ම වගවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ”සෞභාග්‍යයේ දැක්ම” තුළින් නිසිපරිදි තහවුරු කර තිබෙනවා. විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එම වගකීම නිවැරදිව ඉටුකර සුරක්ෂිත රටක් ගොඩනැගීමට අප කැප වී සිටින බවයි ජාතික සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ සදහන් කරයි.

2004 දෙසැම්බර් 26 දින සුනාමි ඛේදවාචකයෙන් මියගිය සියලූම දෙනාටම නිවන් සුවය පතන බවත් සිය ආදරණීයන් අනපේක්ෂිත ලෙස අහිමිවීමෙන් අදටත් පීඩා විඳින සියලූම දෙනාට සිය අමාත්‍යාංශයේත් රජයේත් ශෝකය පළ කරන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.