නව වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සැකයක්?

ඉන්දික ශ්‍රී අරවින්ද

මේ වනවිට බ්‍රිතාන්‍ය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය සම තුළින් සහ අක්ෂි මගින් ශරීරයට ඇතුළුවීමේ ප්‍රවනතාවයක් දක්නට ඇති බැවින් ඒ ගැන අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසයි.

එම වෛරසයෙන් බේරීමට නම් දැනට අනුගමනය කරන සෞඛ්‍ය නිර්දේශයන් ප්‍රමාණවත් නොවෙන බව ඔහු පවසයි.
මෙහිදී දුරස්ථභාවය,දෑත් සේදීම,මුඛ ආවරණය පැළඳවීම යන පුරුදු මගින් නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය පාලනය කිරීමට අසීරු වන අතර ඒ සඳහා අනිවාර්යෙන් covid එන්නත ශරීරගත කිරීම මගින් පමණයි පාලනය කළ හැකි බවයි විශේෂඥ වෛද්‍ය  මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පවසන්නේ.

මෙම නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණියහොත් ආසාදිතයන්ගේ විශාල වැඩවීමක් සිදුවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම නව වෛරස් ප්‍රභේදය කලින් වෛරසයට වඩා සියයට 70% ක වේගයෙන් පැතිරෙන බවයි.
ඒ අනුව  බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමත් සමග එම වෛරස් ප්‍ර‍භේදය මෙරට ඇතුළු වුවහොත් කොවිඩ් මරණ ඉහළ යා හැකි බවද හෙතෙම සඳහන් කළා.

එම නිසා නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. ඒ කෙසේ වෙතත් ඊයේ (23) සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයකට ශ්‍රී ලංකාවට ඇතුල් කර නොගන්නා බවට සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනු ලැබුවත් මෙරටට පැමිණෙන මගීන් වෙනත් ගුවන් තොටුපළවල් හරහා හෝ වෙනත් ගමනාන්ත හරහා මෙරටට පැමිණ ඇති බවට සැක සහිතය.

එබැවින් මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිට නව covid වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ බොහෝ ඉඩකඩ ඇති බවට විශේෂඥ වෛද්‍ය අංශ සැක මතු කරන අතර ඒ සඳහා පළමු වැළක්වීමේ පියවරක් ලෙස පසුගිය සතිය තුළදී මෙරටට පැමිණි සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර වහාම පරික්ෂාවකට ලක්කල යුතුව ඇති බව විශේෂඥ වෛද්‍ය අංශ පවසයි.

මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව බ්‍රිතාන්‍ය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය (20) වැනිදාය.
එහෙත් ඊට පෙර සිට මෙම වෛරසය ව්‍යාප්තියක් සිදු වී ඇති බවට අනුමාන කළ හැකිය. මේ වනවිට මෙම නව වෛරසය දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකටම ව්‍යාප්තිය ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර සුළුවෙන් හෝ මෙරටටත් වෛරසය පැමිණ ඇති බවට සැකයක් පවතින බැවින් ඒ සඳහා සෞඛ්‍ය අංශ වහාම අවධානය යොමු කළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.