සාමයේ දයාවේ පණිවුඩය තහවුරු කරමු

මෙරට කිතුනු ජනතාව නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරුදින සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පවසන්නේ එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිතබව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව අගමික වතාවන්හි නිරතවීමට සියලුදෙනාට අවස්ථාව සැලසීමට හැකිවී ඇති බවත් වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ද එලෙසින්ම සිදුවනු ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම කොවිඩ් -19 වසංගතය හමුවේ ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට ජේසුස් වහන්සේ දෙසූ ධර්මය උපයෝගී කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර මෙම නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු වියයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දිළිදුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගතකරන්නට අධ්‍යාත්මික සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවය.

මේ අතර සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි. මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්නට ජේසුතුමන් උගන්වා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සැමරුව ද මෙවර ලොව පුරා පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය එලෙස සැමරීමට නොහැකි වී තිබේ.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රීයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වා තිබේ. මෙරට ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත් වුණි.

කොවිඩ් -19 වසංගතය මිනිසාගේ ආත්මාර්තකාමීත්වයේ ප්‍රතිඵලයක් වන බව එහිදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දුනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.