CDB අඛණ්ඩව දෙවැනි වරටත් බිස්නස් ටුඩේ ‘හොඳම සමාගම් 30’ අතරට

ශ්‍රී ලංකාවේ හොඳ ම බැංකු නොවන මූල්‍ය ආයතන පහ අතරට අයත්වන මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ පුරෝගාමී මෙහෙවරක නියැළී සිටින, සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගම පසුගියදා බිස්නස් ටුඩේ හොඳ ම මූල්‍ය ආයතන 30 අතරට නම් කෙරුණි. තරුණ සහ විවිධත්වයෙන් යුතු කණ්ඩායමක් සමඟ පෙරළිකාර නවෝත්පාදන රැසක් රැගෙන මෙරට මූල්‍ය අන්තර්කරණය දියුණු කිරීමෙන්, නව්‍යකරණය සහ තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම වෙනුවෙන් කැපවී සිටින CDB, තම 25වැනි සංවත්සරය සමරන මොහොතේ එවැනි පිළිගැනීමක් හිමිවීම එහි වටිනාකම තවත් ඉහළ නංවා තිබේ.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් නිකුත් කරන තොරතුරු සහ සමාජ පිළිගැනීම ආදිය සලකා බලමින් නම් කරන බිස්නස් ටුඩේ හොඳම ව්‍යාපාර 30 අතරට CDB මුල් වරට එක්වූයේ ඉකුත් වසරේදී ය. ඒ අනුව 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ කාර්යසාධනය පදනම් කරගෙන සිදුකළ මෙම නම් කිරීම සඳහා CDB අඛණ්ඩව දෙවැනි වරට ද සුදුසුකම් ලැබීම කැපීපෙනේ.

අභියෝග ජයගැනීම CDB මෙවන් සාර්ථකත්වයක් ලබාගැනීමට මූලික හේතුව ලෙස දැක්විය හැකි අතර එය 1995 වසරේදී සමාගම ආරම්භයේ පටන්ම අනුගමනය කළ ක්‍රියාමාර්ගයකි. එහිදී අධිෂ්ඨානය, ධෛර්යය හා අරමුණ කෙරෙහි ස්ථාවරව ගමන් කිරීම තුළින් පසුගිය දශකය තුළ පශ්චාත් යුද කාලසීමාවේදී උපරිම ආර්ථික ප්‍රතිඵල ළඟා කරගැනීමට ද CDB සමත්විය. එමෙන්ම ගෙවුණු දශකය තුළ තම ලාභය 22 ගුණයකින් ද, ආදායම හා එහි තැන්පතු පදනම 9 ගුණයකින් ද වර්ධනය කරගැනීමට සමාගම සමත් විය. තව ද සමාගම සතු සමස්ත වත්කම් ප්‍රමාණය හා ණයපොත් අගය 14 ගුණයකින් ද කොටසක් සඳහා උපයන මුදල 15 ගුණයකින් ද වැඩිවිය. සමාගම අනුගමනය කරන නිවැරදි මූල්‍ය ක්‍රමෝපාය පිළිබඳ එය කදිම සාක්ෂියකි. එනිසා ම CDB කොටස් හිමියන් තුළ ද සමාගම පිළිබඳ අචල විශ්වාසයක් නිර්මාණය වී තිබේ.

සමාජයීය හා පාරිසරික යන දෙඅංශයෙන්ම දැවැන්ත පරිවර්තනයක් සඳහා උරදෙන සමාගමක් ලෙස ප්‍රකට CDB තම 25 වැනි සංවත්සරයට සමගාමීව නව්‍යකරණය හා තිරසාර ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා තම දායකත්වය ලබාදීමට තීරණය කර ඇත. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ අභිලාෂයන් බලගන්වන CDB හි සාර්ථකත්වය රැඳී ඇත්තේ සුවිශේෂී කාර්යභාරයක නිරත වන සාමාන්‍ය කාර්ය මණ්ඩලය තුළ බව CDB කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් නානායක්කාර මහතා පවසයි.

“සමාජ සහ පාරිසරික වගවීමක් ඇති මූල්‍ය ආතනයක් වගේම විවිධ සමාජ පසුබිම්වලට අයත්, විවිධ වයස් මට්ටම්වල සහ විවිධ ප්‍රමාණයේ ව්‍යාපාරවලට මූල්‍ය සේවා පිරිනමන ආයතනයක් ලෙස CDB ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙනවා. ඔබ වර්තමානයේදී දකින CDB සමාගම වසර 25කට වැඩි කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගොඩනංවන ලද්දක්. ඒ වගේම එය තාක්ෂණික විසඳුම් හරහා මූල්‍ය විසඳුම් කරා නව්‍යකරණය හා තිරසාර ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගැනීම සඳහා කැපවූ අපගේ උද්‍යෝගිමත් කාර්යමණ්ඩලය නිසා අත්වූ සාර්ථකත්වයක්. එනම් ඩිජිටල් නවෝත්පාදනය හරහා තාක්ෂණික මූල්‍ය විසඳුම් පිරිනැමීමේ පුරෝගාමී සමාගමක් ලෙස අපි ඉදිරියට එමින් සිටිනවා. අපගේ ව්‍යාපාර මෙහෙයුම්, ජනතාව හා තිරසාරභාවය ‍පිළිබඳ අවධාරණය කිරීම සමඟ බැඳ තබන්නේ එයයි”, ඔහු වැඩිදුරටත් පැවසීය.

CDB මේ වනවිට ග්‍රාමීය ආර්ථිකය තුළ ණය ලබාදෙන්නෙකු මෙන්ම නාගරික ආර්ථිකය තුළ අරමුදල් රැස් කරන්නෙකු ලෙස ද්විත්ව භූමිකාවකට පණ පොවමින් ග්‍රාමීය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් බවට පත්ව තිබේ. එතුළ විශාල පරිවර්තනීය අවකාශයක් ද, නායකත්වය, ශූර කළමනාකාරීත්වය හා ක්‍රමෝපායික දැක්ම මෙන්ම නවීන තාක්ෂණය ද භාවිත කරමින් බොහෝ නව මූල්‍ය විසඳුම් පළමු වරට හඳුන්වා දීමට CDB සමත්ව සිටියි.

උදාහරණ වශයෙන්, ප්‍රධාන බැංකුකරණ පද්ධතිය (core-banking system), තුළ ආයෝජනය කිරීම, SLIPS මෙහෙයවීම, වීසා ඩෙබිට් කාඩ්පත් නිකුත් කිරීම, බැංකු පද්ධතියේ ATM ජාලය හා සම්බන්ධ වීම සහ සමාජ මාධ්‍ය ජාලා (social media) හරහා මුදල් හුවමාරු කිරීම ආදී බොහෝමයක් කඩඉම් මුලින් ම පසුකළ මෙරට බැංකු නොවන මූල්‍ය සමාගම CDB වේ. බැංකු සහ මූල්‍ය ආයතන අතරින් දකුණු ආසියාවේ ISO14064-1 කාබන් සත්‍යාපන සහතිකය ලබාගත් පළමු ආයතනය CDB වීම තවත් විශේෂත්වයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.