කොවිඩ් නිසා මත්පැන් අලෙවිසැල් වසා දැමීමට කිසිදු සුදානමක් නැහැ

 ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් වසංගත තත්වය හමුවේ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට කිසිදු නියෝගයක් මේ වනතුරුත් ලැබී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුව දැඩි පාලනයකින් යුතුව මත්පැන් අලෙවිසැල් පවත්වාගෙන යන බවයි.

ඇතැම් පිරිස් මෙම උත්සව සමයේදී රටපුර මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙසට මාධ්‍ය හරහා දැනුම් දීම් කරන අතර එසේ සිදුවීමෙන් කොරෝනා පළමු වැනි රැල්ල මෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යාමට ඉඩ ඇති බව කුමාරසිංහ මහතා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන නීති රෙගුලාසිවලට අනුව හුදකලා කර ඇති ස්ථානවල සහ ඇඳිරි නීතිය පනවනු ලබන ස්ථානයන්හි මත්පැන් අලෙවිසැල් වසා දැමීමටත් දැනට ක්‍රියා කරමින් පවතියි.

එබැවින් මෙම උත්සව සමය තුළ විශේෂයෙන් මත්පැන් අලෙවිසැල් වසා දැමීමට සුදානම් නැති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා අවධාරණය කරයි.

එහෙත් විශේෂයෙන් උත්සව සමයේදී ජනතාවගේ මත්පැන් භාවිතය ඉහළ යෑම හරහා ඔවුන් වගකීම් විරහිත ලෙස කටයුතු කරන බැවින් මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මෙම උත්සව සමය තුළ මත්පැන් භාවිතා කරන පුද්ගයලයන් තැනින් තැන සංචරණය කිරීම හේතුවෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවයි. මේ නිසා උත්සව සමය ඉලක්ක කර ගනිමින් මත්පැන් අලෙවිසැල් වසා තැබීම ඉතා වැදගත් වනු ඇති බවද අලුත්ගේ මහතා පවසයි.

එසේ නොවුවහොත් බස්නාහිර පළාත තුළ, විශේෂයෙන් කොළඹ නාගරික සීමාව ඇතුළු අධි අවදානම් ප්‍රදේශවල අනපේක්ෂිත අන්දමේ කොවිඩ් පොකුරු නිර්මාණය විය හැකියාවක් පවතින බවයි. මේ නිසා උත්සව සමයේදී රටපුර මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.