පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභා කාලය ජනවාරි මස 31 වනදා දක්වා දීර්ඝ කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මීට පෙර ද අවස්ථා 2 කදී මෙම ජනාධිපති කොමිෂන් සභා කාලය දීර්ඝ කෙරිණි. 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පරික්ෂාකොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා වූ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පිහිට වූයේ 2019 වසරේ සැප්තැම්බර් මස 20 වනදායි.
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම පත්කරනු ලැබුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත එහි සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතායි. අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් රාජපක්ෂ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු හා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එම් එම් අධිකාරී යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයන් වේ.
පාස්කු කොමිසම පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදා සාක්ෂි විමසීම ආරම්භ කළ අතර මේ වන තෙක් 436 දෙනෙකු සාක්ෂි ලබා දී ඇත. පාස්කු කොමිසම හමුවේ අද දිනයේ 22 සාක්ෂි ලබා දුන්නේ පාස්කු ඉරුදින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලේ බෝම්බය පුපුරුවාගත් ස්වයංඝාතක ජමීල් මොහොමඩ්ගේ බිරිද වන ෆාතිමා ෂිෆානාය. බන්ධනාගාර නිලධාරීන් ඇය කොමිසම වෙත රැගෙන ආ අතර එම සාක්ෂි විමසීම සිදුකෙරුණේ මාධ්‍ය නොමැතිවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා යන මහත්වරුන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ ස්වයංඝාතක සහරාන් හෂිම්ගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ද සාක්ෂි ලබා දුන් පිරිස අතර වේ. පාස්කු කොමිසමේ පොලිස් ඒකකය ද මේ වන විට සාක්ෂිකරුවන් 1570 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.