UKසිට පැමිණෙන ගුවන් යානා අත්හිටුවයි. එන්නත ගෙන්වීමටත් සාකච්ජා

හෙට (23) අලුයම 2 සිට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියේ සිට මෙරටට ඇතුළු වන සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව සමග අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී කොවිඩ් නව වෛරස් ප්‍රභේදය හා එහි ව්‍යාප්තිය සමාලෝචනය කිරීමෙන් පසු මේ තීරණයට එළැඹි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

එංගලන්තයේ සිට අද දිවයිනට ළගාවීමට නියමිත මගීන් PCR පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු, හෝටලවල නතර කොට දින 14ක කාලයක් සෞඛ්‍ය අංශවල පූර්ණ නිරීක්ෂණය ඇතිව නිරෝධායනය කෙරේ. ඔවුන් සිය නිවෙස්වල තවත් දින 14ක කාලයක් නිරෝධායනය විය යුතුය.

ලන්ඩනයේ සිට එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවල කාර්ය මණ්ඩල ද නිරෝධායන ක්‍රියාවලියට යටත් වෙති. කොවිඩ් එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව අද සාකච්ඡාවේදීත් ජනාධිපතිතුමා කොවිඩ් කමිටුවේ අවධානයට යොමු වෙමින් එම එන්නත් පිළිබඳ සවිස්තර අධ්‍යයනයකින් පසු අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොටඅවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග හට බලය පවරනු ලැබීය.

ඇමරිකාව, එංගලන්තය, චීනය ප්‍රමුඛ රටවල් කිහිපයක් කොවිඩ් එන්නත් නිපදවා තිබේ. එන්නත ලබාදිය යුතු කණ්ඩායම් අවශ්‍යතාව සහ ප්‍රමුඛතාව අනුවතීරණය කෙරේ. වතු, මහල් නිවාස, නේවාසිකාගාර ඇතුළුව රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් ඇති ස්ථාන සහ කණ්ඩායම් පිළිබඳව දත්ත රැස් කිරීමට ද තීරණය කර ඇත.

බ්‍රිතාන්‍යයේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මේ වන විට ලොව රටවල් 40 කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ දිනයේ සිට කටයුතු කර ඇත.

එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කලම්බෝ ගැසට් වෙත පැවසීය.

කෙසේවෙතත් යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.