එක්කො පලාත් සභාව පැවැත්විය යුතුයි නැතිනම් අහෝසි කල යුතුයි

එක්කො පලාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් පලාත් සභා අහෝසි කලයුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් පාර්ලිමේන්තුව සහ පලාත් පාලන ආයතන අතර සංවර්ධනය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ සමහරු පලත් සභාව සුදු අලියෙක් කියලා චෝදනා කරනවා. වැඩ කරන්න බැරිවුණු මිනිස්සු පත්වුනාම තමයි ඕනෑම ආයතනයක් සුදු අලියෙක් වෙන්නේ.මම පලාත් සභා මහ ඇමතිවරයා ලෙස වැඩකරන කාලේ වැඩ කරලා පෙන්නුවා.පලාත් සභා ක්‍රමයෙන් අත්දැකීම් සහිත දේශපාලනඥයෙක් බිහිකල හැකියි. දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනාධිපතිතුමා රට පාලනය කරගෙන ගියානේ. මම කියන්නේ පරිපාලන ඒකක අවශ්‍ය නැත්නම් පාර්ලිමේන්තුවත් විසුරුවලා ජනාධිපතිතුමාට තනිවම රට කරන්න ඉඩදෙන්න පුළුවන්.”

ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ ජනවාරි සිට එය විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. මේ මස 26 වනදා සිට විශේෂ ගුවන්යානා සඳහා අවසර ලබාදෙන බවත් ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට ඒ සඳහා අවසර ලබාගත හැකි බවත් ඇමතිවරයා කීවේය. වාණිජ ගුවන් ආරම්භ කෙරෙන්නේ 26 වනදා සිට ආරම්භ කෙරෙන නියමු ව්‍යාපෘතිය අනුව එහි අඩුපාඩු නිවැරදි කරගනිමින් බවද ඔහු පෙන්වා දුන්නේය.

සංචාරකයින් දිවයිනට ගෙන්වීම තුලින් කොවිඩ් පොකුරක් බිහිවිය හැකි බවට විපක්ෂය කරන චෝදනාව ප්‍රතික්ෂේප කල ඇමතිවරයා රට තුල පසුගිය කොවිඩ් රැලි නිර්මාණය වූයේ ගුවන්තොටුපල විවෘත කල නිසාදැයි ඇසුවේය.

“ මේ වෙනකොට ‍බොහෝ රටවල් ගුවන්තොටුපලවල් විවෘත කරලා. අපට වඩා ආසාදිතයෝ වැඩි මරණ වැඩි රටවලුත් මේ අතර වෙනවා. විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් වැඩිවෙනකල්. රටේ කොවිඩ් වසංගතය වැඩිවුණාම විපක්ෂය ඒකෙන් කාලකණ්නි සතුටක් ලබනවා. ඒ නිසයි ජනතාව බියගන්නවන්න හදන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.