කොවිඩ් වැළඳි මියගිය බිළිදාගේ දේහයත් භාරගැනීම ප්‍රතික්ෂේප කරයි

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ්-19 වෛරසය ආසාදිතව කොළඹ රිජ්වේ ළමා රෝහලේදී පෙරේදා  (08) සවස මිය ගිය දින 20ක් වයසැති බිළිදාගේ මළසිරුරද දෙමවුපියන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා රජයේ වියදමින් ඊයේ  (09) දිනයේදී බොරැල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට පියවර ගෙන තිබුණි.

එම බිළිදාගේ පියා වන මොහොමඩ් ෆායිම් මහතා ප්‍රකාශ කළේ දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඔවුන් වෙත ඉදිරිපත් නොකිරීම නිසාත්,තම බිළිදාගේ මළසිරුර අවසන් කටයුතු සඳහා තමන්ට භාර නොදීම නිසාත් මරණ සහතිකයට අත්සන් නොකළ බවයි.

තමන්ට සහ තම බිරිඳට කොවිඩ් ආසාදනය නොවී තම දරුවාට වෛරසය ආසාදනය වී ඇති බව පැවසීම සැක සහිත බව මොහොමඩ් ෆායිම් මහතා අප වෙත සඳහන් කළේය.

එහෙත් කොළඹ රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ බිලිඳා  පසුගිය (08) වැනිදා අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී  හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇති බවයි.

එහිදී වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දීමට කටයුතු කල අතර එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා පැවසිය.
ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව රෝහල් අධ්‍යක්ෂ ජී.විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.

එබැවින් ඊයේ (09) දිනයේදී දෙමවුපියන්ගේ විරෝධය මැද බිළිදාගේ මළසිරුර ආදාහනය පියවර ගනු ලැබූ බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.