මෙවර ශ්‍රී පාද වන්දනාවට ලියාපදිංචි සහතිකය අනිවාර්යයි

අශන්ති වරුනසුරිය

2020 – 2021 ශ්‍රී පාද වන්දනා වාරය එළෙඹ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. එක් මාර්ගයකින් පුද්ගලයින් 50 දෙනෙකු බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු සහභාගී කරවීමට තීරණය කර තිබේ.

රට පුරා පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර ශ්‍රී පාද වන්දනා කටයුතු සිදුකිරීමට තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසු සේක.

ඒ අනුව දෙසැම්බර් 27 වනදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වන දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩම කරවිමට නියමිතය.

ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙම තීන්දු තීරණ ගෙන ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.

තවද ශ්‍රී පාද වන්දනා වාරය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (8 ) පැවැත්විය.

මෙවර සිරිපා වන්දනා වාරය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම සදහා කටයුතු සූදානම් කර ඇති අතර, පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විසින් ලබාදී ඇති උපදෙස් වලට අනුව මෙවර සිරිපා වන්දනාව සදහා සීමිත බැතිමතුන් පිරිසක් සදහා අවස්ථාව සළසා දී ඇත. දෙසැම්බර් 27 සවස යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව 28 දා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩමවීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගය යන මාර්ග 04න් ගමන් ගන්නා මෙම පෙරහැර විශේෂයෙන් සෞඛ්‍ය රීතින්ට අනුව මග නොනත්වා ගමන් කිරීම සිදු කරනු ලබයි. ශ්‍රි පාදය වන්දනා කිරීමට අදහස් කරන බැතිමතුන් තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීම, මාර්ග 04න් ගමන් ගන්නා ශ්‍රී පාද පෙරහැර කිසිදු ස්ථානයක නොනවත්වන අතර අතරමග පඩුරු දැමීම, පුද පුජා පැවැත්වීම හා භාර ගැනීම සිදු නොකිරීම, පෙරහැරට වාහන කිහිපයක් පමණක් සහභාගි කරවීම, සියලුම ආහාර පාන දන්සල් තහනම් කර ඇති අතර ඒ වෙනුවට කැමති දානපතීන්ට මුව ආවරණ සහ අත් සේදුම් ද්‍රව්‍ය බැතිමතුන්ට බෙදා දීමට අවසර ලබා දීම, ශ්‍රී පාදස්ථානයේ අවසර දී ඇති කඩ සදහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමටත් ඒවායේ සේවකයන් සදහා පී.සී.ආර් පරීක්ෂණ නිතර සිදු කිරීම, දේශීය සහ බටහිර වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද විෂබීජහරණ කණ්ඩායම් ද මාර්ග 04ම සදහාම යෙදවීමට නියමකර ගැනීම යන තීරණ වලට එළඹි අතර, මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, නුවර එළිය දිස්ත්‍රික් ලේකම් බී.ආර්.පුෂ්පකුමාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ජී.ඒ.තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න , මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය, රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එච්.එස්.පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීන් ද, සෞඛ්‍ය අංශ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.