කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් දකුණු ඉන්දියාවේ වැඩි වශයෙන් අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් 1500 ක් පමණ නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබේ.
රාජ්‍යයන් දෙක සම්බන්ධීකරණය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ සිදුකරන බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විදේශ සබඳතා අමාත්‍යාංශයේදී හමුවී ඇත.
2020 නොවැම්බර් 28 වන දින කොළඹදී පැවති සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ 4 වන එන්එස්ඒ මට්ටමේ ත්‍රෛපාර්ශ්වික රැස්වීමක් සංවිධානය කිරීම පිළිබඳව මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කර තිබේ.
කලාපයේ ත්‍රස්තවාදය, රැඩිකල්කරනය, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම වැනි අභියෝගයන්ට මුහුණ දීම සඳහා විවිධ රටවල්, විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම සඳහා මහ කොමසාරිස්වරයා සහ අමාත්‍යවරයා එකඟ විය.
ඉදිරි වර්ෂයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකා සබඳතා නව මට්ටමකට පැමිණෙනු ඇතැයි මහ කොමසාරිස්වරයා මෙහිදී විශ්වාසය පළ කර ඇති අතර ධීවරයින් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් දෙරටේ අදාළ බලධාරීන් අතර පවතින සහයෝගිතාව මහ කොමසාරිස්වරයා අගය කර තිබේ.
මේ වසර මුලදී පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදේදී ජීවිතක්ෂයට පත්වූ ඉන්දීය ධීවරයින්ගේ මළ සිරුරු ආපසු ලබා දීමට සහයෝගය දැක්වීම පිළිබඳව මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට ස්තූතිය පුද කර තිබේ.