ම.උ.කො.සභාව වසා දැමීමට එරෙහිව වාසු පෙරට

ඉන්දික ශ්‍රී අරවින්ද

මහජන උපයෝගීතා කොමිසන් සභාව වසා දැමීමට ගත් තීරණය වහාම අත්හිටුවන ලෙස ඉල්ලා ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.

ජනධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට පසුගිය දා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාව වසා දැමීමට ක්‍රියා කරන ලෙසයි. එම කොමිසන් සභාව වසා දැමීම තුළින් ගැටළු කිහිපයක්ම මතු වෙන බවත් එමගින් දැනට කරගෙන යනු ලබන හෝ යෝජිත පාරිභෝගික සේවා අඩාල වීමෙන් එහි අපකීර්තිය ඔබ තුමාට මෙන්ම රජයට එල්ල විය හැකි බව වාසුදේව මහතා එම ලිපියෙන් පෙන්වා දී ඇත.

මහජන උපයෝගීතා කොමිසන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි යළි සංශෝධනය කරන බවට අය වැය යෝජනා අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කළ කතාවට පරිබාහිරව යමින් ජනාධිපති ලේකම්වරයාගේ ක්‍රියාමාර්ගයට අමාත්‍යවරයා අප්‍රසාදය පළකර සිටියි.

එම කොමිසම සෑම විටම ක්‍රියාකර ඇත්තේ පුරවැසියෙකුට ආරවුලක් ඇතිවුවහොත් බේරුම්කරණය හා සමථකරණය හරහා එම ගැටළුව විසඳා ගැනීමට යහපත් විසදුමක් ලබා දීම සඳහායි. විදුලි පාරිභෝගිකයා පමණක් නොව ජල සේවා සහ ඛණිජ තෙල් පාරිභෝගිකයාගේ ගැටළු විසදීම සඳහාද මහජන උපයෝගීතා කොමිසන් සභාව ඵලදායි ලෙස ක්‍රියාකර ඇති ආයතනයක් බව එම ලිපියේ සඳහන් වෙයි.

පසුගිය කාලය තුළදී අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට කළ යෝජනාවට අනුමැතිය ලබා නොදී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට මෙම කොමිසම ක්‍රියාකර ඇත. ඒ අනුව විදුලි,ජල සහ ඛණිජ තෙල් පාරිභෝගිකයා වෙනුවෙන් මෙම කොමිසම ආරක්ෂා කර ගත යුතුව ඇති අතර ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් පියවර ගැනීම වහාම අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාල කොමිසමේ සාමාජිකයින්ට හමු වී කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙසටත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවනු ලැබූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.