භාරකරුවන් නොමැති කොවිඩ් මරණ ආදාහනයට රජයට බලයක් නැහැ

ඉන්දික ශ්‍රී අරවින්ද

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු ආදාහනය කිරීමට නීතිමය බලයක් රජයට නොමැති බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇත.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම මෘත ශරීර ආදාහනය කිරීම සඳහා එම මියගිය පුද්ගලයාගේ ඥාතීන් හෝ භාරකරුවන් ලිඛිත අවසරයක් ලබා නොදීම නිසා ගැටළුවක් මතු වී ඇති බවයි.

මෙම දේහයන් රජයේ වියදමින් ආදාහනය කිරීමට හැකියාව පැවතුනත් ඒ පිළිබඳව එම ඥාතීන් හෝ භාරකරුවන් නිශ්චිත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කරුණු දැක්වීමට ඉදිරිපත් නොවීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටීමට සිදු බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඥාතීයෙකු හෝ භාරකරුවකු නිශ්චිතවම මෙම දේහයන් ආදාහනය කිරීමට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් එම දේහයන් රජයේ වියදමින් හෝ ආදාහනයට කිරීමට නොහැකි වී ඇත. මේ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නොත් එයද කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම් බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර 7 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී මෘත ශරීරාගාරයේ තිබු අතර එයින් 2ක් පසුගිය (01) වැනිදා බොරැල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට පියවර ගනු ලැබීය.

එහිදී කොළඹ මහ නගර සභා සෞඛ්‍ය අංශයට ලැබුණු නියෝගයකට අනුව ඉතිරි මෘත ශරීර 5 ආදාහනය කිරීම අත්හිටුවනු ලැබුහ. එහෙත් පසුගිය(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් -19 ආසාදිතව මියගිය අයගේ මෘත ශරීර රජයේ වියදමින් ආදාහනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවයි.

මේ සඳහා වැයවන පිරිවැය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.