ජනාධිපති සමඟ සමීපව කටයුතු කිරීමට කෙන්යාව සුදානම්

ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව කෙන්යාවේ ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මහතා පැවසීය. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලයි කනනාතන් මහතා, සිය අක්ත පත්‍රය කෙන්යා ජනරජයේ ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා මැතිතුමා වෙත 2020 දෙසැම්බර් 02 වැනි දින නයිරෝබි හි රාජ්‍ය මන්දිරයේ දී පිළිගැන් වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙළේය.

අක්ත පත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව, ජනාධිපතිවරයා අභිනව මහ කොමසාරිස්වරයා හට පෞද්ගලික හමුවක් සඳහා ආරාධනය කළ අතර, එහි ආරම්භයේදීම මහ කොමසාරිස් කනනාතන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත්, ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාවගේත් ආශිංසන සහ සුබ පැතුම් ජනාධිපති කෙන්යාටා මැතිතුමා වෙත පිරිනැමීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ භුක්ති විඳි මිත්‍රශීලී සමීප සබඳතා පිළිබඳව කෙන්යාටා මහතා සිහිපත් කෙළේය.

නැගෙනහිර හා දක්ෂිණ අප්‍රිකාව සඳහා පොදු වෙළඳපොළ (COMESA) හි ක්‍රියාකාරී සාමාජික රටක් වන කෙන්යාව ඇතුළුව, අප්‍රිකාව සමඟ පවත්නා බැඳීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශාල වැදගත්කමක් ලබා දෙන බව මහ කොමසාරිස්වරයා පැහැදිලි කළේය. අප්‍රිකාව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රවේශය හා අවධානය අගය කළ කෙන්යානු ජනාධිපතිවරයා, අදාළ ජනතාවන්ගේ සෞභාග්‍යය වැඩිදියුණු කිරීම සඳහා අප්‍රිකාවේ හා ආසියාවේ කලාපීය ආර්ථික අපේක්ෂාවන් එකිනෙක හා අනුපූරක විය යුතු බවත්, අප්‍රිකාව සමඟ පවත්නා සබඳතා නව මානයක් දක්වා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව යත්න දැරිය යුතුය යන්න තම මතය බවත් පැවසීය.

ගෝලීය ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව නිරන්තරයෙන් ම සමාන අදහස් දැරූ බවත්, බහුපාර්ශ්වීය වේදිකාවල දී එකිනෙක රටවලට සහයෝගය දැක්වූ බවත් පැවසූ ජනාධිපති කෙන්යාටා මැතිතුමා, දෙරට අතර සහයෝගීතාව හා හොඳ හිත ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු යැයි යෝජනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.