අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට රජය සුදානම්

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් 19 වසංගතය තත්වය නිසා දැනට අත්හිටුවා ඇති රත්මලාන සහ යාපනය අතර අභ්‍යන්තර ගුවන් ගමන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ළඟදීම එම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර රත්මලාන ගුවන්තොටුපල තුළ හදුනාගත් ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන්යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ද අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එවැනි පුද්ගලික ගුවන්යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා මෙන්ම ඉන්ධන පිරවුම් වැනි අවශ්‍යතාවයන් ඉටුකිරීමට බලාපොරොත්තු වෙයි. ඉන්දියාව සහ මාලදිවයින කේන්ද්‍ර කරගත් කලාපීය ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස රත්මලාන ගුවන්තොටුපල දියුණු කිරීමට ද සැලසුම් කර ඇති අතර මාලදිවයින ගුවන් සමාගම සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් අමාත්‍යවරයා පවසයි.

එම මාලදිවයින ගුවන් සමාගම ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටි අතර කොවිඩ් 19 හේතුවෙන් එම ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට සිදු වී ඇත. රත්මලාන ගුවන්තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රවර්ධනය සඳහා ගුවන්යානා නැවතුම් සහ නවතා තැබීමේ ගාස්තු වසරක කාලයක් සඳහා ඉවත් කිරීමටත් ගුවන් මගීන්ගෙන් අයකරනු ලබන ගුවන්තොටුල සේවා බද්ද වසරක කාලයක් සදහා අත්හිටුවීමටත් රජය තීරණය කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

ඒ අනුව රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපල ප්‍රධාන කේෂ්ත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් ලෙසත්, විනෝදාස්වාද ගුවන්ගමන් මධ්‍යස්ථානයක් ලෙසත්,සංචාරක ආකර්ෂණිය ස්ථානයක් ලෙසත් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.