මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය විමර්ශන කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් එම කමිටුව පත්කළ බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා විසින් දැනුම් දෙයි.
එම කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය – සභාපති
අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යු.ආර් ද සිල්වා මහතා – සාමාජික
අධිකරණයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත මහතා – සාමාජික
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා – සාමාජික
හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ මහතා – සාමාජික
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතා කමිටුවේ ලේකම් ලෙස කටයුතු කරනු ලැබේ.
අදාළ සිද්ධියට පාදක වු කරුණු, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන් හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, අදාළ කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, මාසයක් ඇතුළත කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ද කමිටුව මඟින් ඉදිරිපත් කළ යුතු බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දන්වා තිබේ.