අශන්ති වරුනසුරිය
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව විෂය භාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
සිද්ධිය සම්බන්දයෙන් අප කල වීමට පිළිතුරු දෙමින් තත්වය සමනය වී ඇති බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු රාගම රෝහලට රැගෙනවිත් ඇතුල් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 43 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගත්තේය.
ඒ අනුව පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇත. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබේ.
කෙසේවෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබුණි. බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගත්තේය. එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.
ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර තිබේ. කෙසේවෙතත් අද (30) අලුයම 5 පමණ වන තුරුත් ගින්න පැවති බව වාර්තා වේ.