
ඉන්දික ශ්‍රී අරවින්ද
ඌව පළාතේ පළාත් පාලන ආයතනවල අයවැය සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් නිවේදනය දෙසැම්බර් 09 වැනිදා තෙක් අත්හිටුවීමට බදුල්ල මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගහපිටිය පසුගිය (25 වැනිදා) නියෝග කළේය.
ඌව පළාතේ ආණ්ඩුකාරවරයා විසින් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා නිකුත් කර ඇති 2199/25 අංක දරන එම ගැසට් නිවේදනය තුළ තැන් දෙකකම ඌව පළාත් සභාව වෙනුවට වයඹ පළාත් සභාව යනුවෙන් සඳහන් කර තිබිණි.
ඌව හා වයඹ පළාත් මාරු කරමින් නිකුත් කළ එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ඒක්සත් ජාතික පක්ෂ බදුල්ල මහනගර සභා මන්ත්‍රී රවී සුරේෂ් විසින් බදුල්ල මහාධිකරණය වෙත ගොනු කළ පෙත්සම සලකා බලමින් මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් Colombo Gazette කළ විමසුමකදී ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ප්‍රකාශ කළේ එය රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ අත් වැරදීමකින් සිදුවූවක් නිසා යලි එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි. ලබන (9)වැනිදාට දෙපාර්ශ්වයටම අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කර ඇත.


