පෞද්ගලික මාධ්‍ය රජයේ පුවත් නොසලකා හැරීමේ සුදානමක් ?

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් අත්හිටුවීමට රජය කටයුතු කරන්නේ නම්, රජයේ ප්‍රචාරක වැඩසටහන් තවදුරටත් ප්‍රචාරය නොකිරීමට ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනහි අවධානය යොමු වී තිබේ.

මින් ඉදිරියට රජයේ වෙළඳ දැන්වීම් පලනොකරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර රජයේ සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබිණ.

රජයේ වෙළඳ දැන්වීම් අත්හිටුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ඊයේ (26) ලිපියක් යොමුකර ඇති ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය, රජය විසින් ගෙන ඇති එම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තම සංගමයට අවස්ථාවක් ලබාදෙන මෙන් ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගැටළු රැසකට මුහුණ පා සිටින අවස්ථාවක රාජ්‍ය ආයතනවල වෙළඳ දැන්වීම් අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් මෙරට මාධ්‍ය ආයතන දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.

2021 අයවැය විවාදයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනුණු දිනයේදීම රජය විසින් එම තීරණය ගැනීම කණගාටුවට කරුණක් බවද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසුරියගේ අත්සනින් යුතුව මාධ්‍ය ඇමතිවරයා වෙත යොමුකර ඇති එම ලිපියේ සඳහන් වේ.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් මෙම තීරණාත්මක අවස්ථාවේ මෙරට ජනමාධ්‍ය සිදු කරන මෙහෙවර සුවිශේෂී බව එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.