“ජනතාවාදී ආර්ථික පුනර්ජීවයකට මඟ පාදමු” යන මැයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සමුළුව, ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් 2020 දෙසැම්බර් මස 1 සහ 2 වන දිනවලදී පැවැත්වේ. සමුළුවේ සමාරම්භය ප්‍රධාන ආරාධිත අමුත්තා වන ජනාධිපතිතුමා විසින් සනිටුහන් කිරීමට නියමිත අතර සමුළුවේ සමාරම්භක දේශනයද එතුමා විසින් පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමුළුවේ දෙවන අදියර 2020 දෙසැම්බර් 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි. මෙම දෙවන අදියරේදී, “කාර්යක්ෂම රාජ්‍ය හා ප්රගතිශීලී රාජ්‍ය ව්‍යවසායන් බල ගැන්වීම” යන මැයෙන්, ක්ෂේත්‍ර රුසක් ප්‍රවීණයන් සහ ඉහළ නිලතල දරන නිලධාරීන්ගේ (VVIP) සහභාගීත්වයෙන් පැවැත්වෙන සැසියකටත් සහභාගී වීමට නියමිත ය.
සමාරම්භක සැසි වාරය දෙසැම්බර් මස පළමු වැනිදා උදේ 8.30 ට ආරම්භ වන අතර ප්‍රධාන දේශක ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මල සීතරාමන්, ගෞරවනීය ආරාධිත අමුත්තා වන මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, විසින් දේශන පවත්වනු ලැබේ. ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසුරිය මහතා පිළිගැනීමේ දේශනය පවත්වනු ඇත.
ප්‍රධාන සමුළුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අන්තර්ජාලය හරහා පැවැත්වේ. එහිදී මෙරට ආර්ථිකය වේගවත් හා ජනතා කේන්ද්‍රීය පුනර්ජීවනයක් කරා ගෙන යාම සඳහා අවශ්‍ය මාවත සංවර්ධනය කිරීමේ පියවර හඳුනා ගැනීමට මූලික ප්‍රතිපත්ති සම්පාදකයින්, ඉදිරි පෙළ ව්‍යාපාරිකයින් මෙන්ම ඉහළ ජාත්‍යන්තර විශේෂඥයින්ගේ අදහස් ගොනු කෙරෙනු ඇත.