ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිගින් දිගටම කියා සිටියේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලුදෙනා වගකිවයුතු වුවද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිදු වගකීමක් නොමැති බවය.
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.
මාවනැල්ල බුදු පිළිම වලට හානිකිරීම, වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය වගේ සිදුවීම් වුණේ ඔබ 2018 ඔක්තෝම්බර් මෙරට තුළ ඇතිකළ ව්‍යවස්ථා අර්බුදය තුළින් රට තුළ බිහිවු ව්‍යාකූල තත්ත්වය නිසා බව මම ඔබට යෝජනා කරනවා යනුවෙන් නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා ප්‍රශ්ණ කල විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මම එය පිළිගන්නේ නැහැ. ඒක මම තනිවම ගත්තු තීන්දුවක් නෙමේ. ජනාධිපති නීතිඥයින්, විද්වතුන් වගේ ගොඩාක් පාර්ශව එකතුවෙලා තමයි ඒ සමයේ නීතිරිති, ගැසට් නිවේදන හැදුවේ,”යනුවෙනි.
එම තීරණය ගැනීමේ වගකීමත් වෙනත් අයෙකු පිට පටවන්නද හදන්නේ ද යන්න නීතිඥවරයා පෙරළා ඇසු විට නැහැ මම ගත්තු තීරණය හරියි කියන තැන අදත් මම ඉන්නවා. ඒක දේශපාලනික තීරණයක් යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.
රාජකාරිය පැහැර හැරීමක් කියලා ඒකට කියන්න බැහැ. අනික මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සහ මට ඒ පිළිබද දැනුම් නොදීම ගැන එක්කෙනෙකුට විතරක් වගකීම පවරන්න තමන් පැකිලෙන බව මෛත්‍රිපාල මහතා පැවසිය.
එහිදී , ඔබ උත්සහ කරන්නේ ඔහුට වගකීමක් නොපැවරවීම තුළින් ඔබත් මෙම සිද්ධියට අදාළ වගකීමෙන් මිදෙන්නද යන්න නීතිඥවරයා විමසූ විට තමන් එය සම්පුර්ණෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එහෙම දැනගෙන ගියා නම් තමන් රටින් පැනලා ගියා විය යුතු බවත් කිසිම දවසක මම එහෙම දැනගෙන හිටියානම් කිසිම දවසක අවශ්‍ය පියවර නොගෙන පිටවෙලා නොයන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.