හුදකලා ප්‍රදේශ වල ජනතාවගේ සහන සම්බන්දයෙන් සජිත් චෝදනා කරයි

හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවගෙන් බහුතරයකට රජයෙන් සහන ලැබී නොමැති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

එමෙන්ම විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ තුළ ලබාදෙන රුපියල් පන්දහසේ දිමනාව හා ආහාර මල්ලක් ලබා දිමේ වැඩපිළිවෙලද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවය.

හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින පවුල් සහ ස්වයං නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10,000 ක බඩු මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙලක් සිදු කර ගෙන යන බවත්, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට මාසිකව රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත්, රජය විසින් ප්‍රකාශ කර ඇති නමුත්, මෙම වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලබන සියළුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වේ. මේ බව පසුගිය දින වලදී මෝදර අළුත් මාවත, ඉබ්බාවත්ත හන්දියේ මහල් නිවාසයන්හි පදිංචි නිවැසියන් හා හේනමුල්ල මහල් නිවාසයන්හි නිවැසියන් විසින් කොවිඩ් අවදානම් තත්ත්වය ද නොතකා වීදි බැස සිදු කරන ලද උද්ඝෝෂණ වලින් ද පැහැදිලි වන බවද ඔහු පැවසීය.

ග්‍රාම නිලධාරීවරයා විසින් සිදු කරනු ලබන රුපියල් 5,000 දීමනාව නිකුත් කිරීම දිනකට 100 දෙනෙකුට පමණ සීමාවන බවත්, ඔවුන්ට ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා එය වේගවත් කිරීමට අපහසු බවත් වාර්තා වන බවද කොළඹ දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක 10,000කටත් වඩා අධික ජනගහනයක් ඇති බැවින් දිනකට මෙම ප්‍රමාණය ලබා දීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද ඔහු අවධාරණය කළේය.

දීමනා බෙදාහැරීමේ යාන්ත්‍රණයේ පවතින දුර්වලතාවයන්ට අමතරව, මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේ දී පෙන්වා දීමට කැමැත්තෙමි. පසුගිය සතියේ මෙම සභාවේදී රජයේ අමාත්‍යවරයෙක් විසින්, “මාසයකට දෙනු ලබන රුපියල් 5,000 සතියකින් අවසන් කරගනු ලැබූ බවට” එම ජනතාවට චෝදනා නැගූ නමුත්, මීට පෙර සිටම මාගේ ස්ථාවරය වූයේ, රුපියල් 5,000 කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, අවම වශයෙන් එක් පවුලකට මසකට රුපියල් 20,000ක දීමනාවක්වත් ලබාදිය යුතුය යන්නයි. සාමාජිකයන් දෙදෙනෙකු සිටින පවුලකට වුව ද ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මාසික ජීවන වියදම් ලෙස අවම වශයෙන් රුපියල් 15,000ක් වත් අවශ්‍ය වේ. මීට අමතරව, වත්මන් රජයේ ප්‍රතිපත්ති නිසා බඩු මිල ද දිනෙන් දින ඉහළ යමින් පවතින බැවින්, ජීවනෝපාය අහිමි නොවූ ජනතාවගේ ආර්ථිකය ද අස්ථාවර වෙමින් පවතී. යනුවෙන්ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.