අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී නොමැති බවට සහතික කරන බව අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට ජාතික පුවත්පතක පළ වී ඇති පුවත සාවද්‍ය මෙන්ම පදනම් විරහිත පුවතක් වන අතර එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් කොරෝනා තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවත් අගමැති කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අන් රාජ්‍ය ආයතන, අමාත්‍යංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බවද බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවද කොවිඩ් ආසාධිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බැවින් අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරය තුළ රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරී කටයුතු වල නියැළී සිටින බවද ඔවුන් එම නිවේදනයෙන් අවාධාරණය කරයි.