පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු රැසක් හිටපු CID ප්‍රධානියා හෙළි කරයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට මුලින් සැලසුම් කර තිබුණේ 2020 වසර තුළදී බවට විමර්ශන මගින් අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මුල්වරට අනාවරණය කළේය.

එහිදී ඔහු බෝම්බකරුවන්ගේ තවත් සැලසුම් කිහිපයක් ද පළමුවරට අද අනාවරණය කළේය. කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධිය, මාවනැල්ලෙ බුදු පිළිම කඩා දැමීම, වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක් සහිත ඉඩමක් සොයාගැනීම ආදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මෙහෙයවූ සිදුවීම් සම්බන්ධයෙන් සඳහන් කළේය.

මෙහිදී ඔහු සාක්කි ලබා දෙමින් මෙසේද පැවසීය.
මම රාජකාරීමය කටයුත්තකට විදෙස් ගත වෙලා දිවයිනට පැමිණි පසු තමයි ස්වාමීනි මට මේ පිටපත 16 වෙනිදා ලැබුණේ. එය පොලිස්පති මට යොමුකළේ නැහැ. අපිට තිබුණේ සහරාන් ඇතුළු ඒ පිටපතේ නම් සඳහන් පිරිස අත්අඩංගුවට ගැනීම. මම ඒ අනුව මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂට යොමුකළා. නමුත් අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ ප්‍රහාරය එල්ලවන බවට වූ ලිපිය දැක තිබුණේ පාස්කු ප්‍රහාරයට පසු අප්‍රේල් 23 ස්වාමීනි. ප්‍රහාරයට පස්සේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍යයට සඳහන් කළා ඔහුගේ පියා ප්‍රහාරයට කලින් දවසේ කිව්වා කියලා “හෙට පල්ලි යන්න එපා ” කියලා. මේ කොමිසමට ඉදිරිපත් වූ සාක්ෂි අනුව CID එකෙන් මාවනැල්ල සහ වනාතවිල්ලුවේ පරීක්ෂණ මෙහෙයවපු පොලිස් සැරයන් නන්දලාල් නිලධාරියා අප්‍රේල් 20 රාත්‍රියේ හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට දුරකතන ඇමතුමක් අරගෙන තිබෙනවා. සාක්ෂි අනුව වියහැකි කරුණක් වන්නේ නන්දලාල් විසින් එලෙස හරීන් ප්‍රනාන්දු මහතාගෙ පියාට පණිවිඩය දුන්නා කියන එකයි.

නන්දලාල් නිලධාරියාට තොරතුර ලැබුණේ කොහොමද කියලා මට දැනුමක් නැහැ. නමුත් ප්‍රහාරය හෙට සිදුවෙනවා කියලා නිලන්ත ජයවර්ධන මහත්මයා 20 රෑත් මාව දැනුම්වත් කළා. මම ඒ තොරතුරත් සහකාර පොලිස් අධිකාරී වික්‍රමසේකරට හා අධ්‍යක්ෂ ශානි අබේසේකරට එවෙලේම යොමුකරලයි තිබුණේ අනතුරුව සාක්ෂිකාර රවී සෙනෙවිරත්න මහතා විසින් සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් ප්‍රහාරය සැලසුම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති කරුණු රැසක් ජනාධිපති කොමිසමට අනාවරණය කළා.

විමර්ශනවලදී සොයාගත්තා ස්වාමීනී, 2014 ඉදන් සහරාන්ලා කටයුතු කර තිබුණත් ප්‍රහාරයක් සඳහා ඔවුන් සූදානම් වෙලා තිබෙන්නේ 2017 වසරේ සිට. කණ්ඩායම් හදා ගන්න බැරි වුණාම තමයි ශාහිඩ්ට කියලා තියෙන්නෙ බුදුපිළිමෙකට හරි ගලක් ගහන්න කියලා. ඊටපස්සෙ දේශනවලදි සහරාන් අහලා තියෙනවා සටන්කරුවො වෙන්නද කැමති ප්‍රහාරකයො වෙන්නද කැමති කියලා. සහරාන් නැති තැන කණ්ඩායම කතා වෙනවා මෙරට තුළ නැතුව වෙන රටකට ගිහින් පුපුරවා ගැනීම් කරන්න. නමුත් සහරාන් යළි පැමිණ ඔවුන්ව අභිප්‍රේරණය කරනවා මෙරට තුළම ප්‍රහාර එල්ල කරගන්න.

ඒ අනුව ස්වාමීනි 2020 අවුරුද්දේ තමයි ඔවුන් මෙම ප්‍රහාරය සිදුකරන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් 2019 අප්‍රේල් මුල් සතිය වෙනකොට සහරාන් තීරණය හදිසියේම වෙනස් කරනවා “අපි දැන් ප්‍රහාරයක් කරන්න ඕනෙ” කියලා. ඒකට කණ්ඩායමේ අනිත් අය එකඟ වෙලා තිබුණේ නැහැ නමුත් අප්‍රේල් 9 වෙනකොට ඒ අය කැමති වෙලා 17 වෙනිදා වෙද්දි තමයි ඔවුන් තීරණය කර තිබෙන්නේ 21 වෙනිදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලකරනවා කියලා. හිටිහැටියේ දිනවකවානු වෙනස් වීම වගේ දේවල් එක්ක සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්න ඕනේ කියලා කරපු විමර්ශනය අනුව වැටහුනා. මට විශ්‍රාම යන්න කලින් අවශ්‍ය වුණේ ඒ සහරාන්ව මෙහෙයවූ කෙනාව හොයාගන්න.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයාවරයා සාක්ෂිකරුගේ අවධානයට කොළයක ලියා පුද්ගලයකුගේ නමක් ඉදිරිපත් කළ අතර සාක්ෂියේදී ඔහු සඳහන් කළ පුද්ගලයා ඔහු විය හැකි බවත් සහරාන් එම පුද්ගලයා සමඟ කටයුතු කර ඇති බවට තොරතුරු ඇති බවත් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

අනතුරුව ප්‍රහාරයට පසු සහරාන්ලාගේ තිබූ තවත් සැලැස්මක් සාක්ෂිකරු අනාවරණය කරමින්, ප්‍රහාරය දිනයේ යම් අයෙකු අසාර්ථක වුණොත් ඒ පුද්ගලයා පැමිණිය යුතු ස්ථානයක් ඔවුන් සුදානම් කරගෙන තිබුණේ. එය කොළඹ දේවස්ථානයක්. එතැනට පැමිණෙන අසාර්ථක වූ ප්‍රහාරකයා තවත් අයෙකුට ඔහු එහි පැමිණි බව කිව යුතුයි. ඒ අනුව ප්‍රහාරකයා කැඳවාගෙන යන්න තව කෙනෙක් එතැනට එනවා. ඉන් පසු ඔවුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යන්නයි සැලසුම වී තිබුණේ. යනුවෙන් ද පැවසිය. එලෙස අසාර්ථක වන ප්‍රහාරකයන් කැඳවා ගෙන යාමට යොදවා තිබූ පුද්ගලයාගේ නම ද සාක්ෂිකරු විසින් කොලයක සටහන් කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කල අතර එහිදී ඔහු සඳහන් කළේ, අදාළ පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.