අශන්ති වරුනසුරිය
අටලුගම ප්‍රදේශයේ ඊයේ (20) සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ මඟින් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනීමෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8 ක සීමාව හුදකලා කිරීමට තීරණය කර ඇත.
කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අද (21) දිනයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 1000ක් සිදුකිරීමට නියමිත බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග අංශය කටයුතු කර ඇත. අද උදෑසන මාළිගාවත්ත ක්‍රීඩාංගනය ආසන්නයේ ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ ජෛව පටල ලබා ගත් බවත් ඒ අනුව කොළඹ ස්ථාන කිහිපයක ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
ඊයේ (20) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160ක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස වාර්තා වී ඇත.
ඊයේ දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයෙකු ද වේ. අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගනන 15,761ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් පුද්ගලයින් 9,905 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර 3,059ක් ලෙසත් පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ආශ්රිත පොකුර 12,702ක් ලෙසත් දැක්වේ. ඊයේ දිනය වන විට මෙරට පූර්ණ සුවය ලැබු ආසාදිතයින් ගණන 19,279ක් වන අතර, රෝහල්ගත ආසාදිතයින් ගණන 5,935ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 74ක් විය. මේ අතර අබුඩාබි සිට පුද්ගලයින් 21ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 42ක් ඉන්දියාවේ සිට පුද්ගලයින් 58ක් මෙරටට පැමිණ ඇතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. තවත් මගීන් 296ක් දෝහා කටාර් සිට මෙරටට පැමිණීමට නියමිතය. ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ගණන 11,398කි.