පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන – ජනපති ජාතිය අමතා කියයි

හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන රාජ්‍ය පාලනයක් ඇති කිරීම බලාපොරොත්තුව බවත් රට සුරක්ෂිත බවත් බිය සැක ජනතාව තබා ගත යුතු නොවන බවත් ජනපති ජාතිය අමතා පැවසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාල හරහා පතුරුවන බොරු ප්‍රචාරවලින් එය මැනිය නොහැකි බව ඒ මහතා පැවසීය.

ජනතාව තමන්ට හා රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදාය දේශපාලනික සංස්කෘතිය වෙනස් කොට රට සෞභාගය කරා ගෙන යාමට බවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් මෙන්ම රජයත් කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිධුරයට පත්වී සිය පළමු පදවි ප්‍රාප්තිය සැපිරෙන අද දිනයේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මිට වසරකට පෙර 69 ලක්ෂයකට අධික ජන්ද දායකයින් තමන්ව නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගත් බවත් ඉන් බහුතරයක් සිංහල ජාතිකයින් බව රහසක් නොවන බවයි.

ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කර බවත් සෑම මසක ත්‍රෛයි නිකායික ප්‍රධානපෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙලකුත් මම අනුගමනය කරන බවද ජනාධිපති පැවසීය.

වැඩි දුරටත් ජනාධිපති මෙසේද පැවසීය.

රණ විරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශවකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යලිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි.

බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය, හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මම කටයුතු කොට තිබෙනවා. ගතවූ කාලය තුළ අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කළේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවුනේ දේශපාලන බලපෑම් වලින් තොරව සුදුසුකම් මතයි. දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අපි මුලුමනින්ම ප්‍රතික්ෂේප කළා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.

පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමානයක් ගෙවන්නට අපි කටයුතු කළා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කල අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා.

රට පුරා පුරන් කුඹුරු යළි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිකරන්නට අපට පුළුවන් වුණා. කුමන දුෂ්කරතා මැද්දේ වුනත් අපේ අපනයනයන් කඩා වැටෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ.

මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි. අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බල පා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අළුත් අභියෝගයක් වුනත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි. පරීක්ෂණ ධාරිතාව වැඩිකිරීම, ආසාධිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන් කොට අන් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණුවලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.

“සතුටින් ජීවත් වන පවුලක්” යන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන අරමුණු ඉටුකරගැනීමේදී විවිධ සමාජ මට්ටම් වල ජීවත් වන ජන කොටස්වල නිවාස අවශ්‍යතාවන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශ 3 ක් පිහිටුවා තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට ඵලදායී පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයට අදාළ සියලුම රාජ්‍ය ආයතන අද අපි එක් අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා. විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා සියලුම උපාධි සමාජයට හා ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබා දී තිබෙනවා.

අපේ රටට මහා උවදුරක්ව පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුලුවන් වුනේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුනා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කල නොහැකියැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුලුවන් වුනා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුලුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහල නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රීයව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා.

මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජන වලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්න වලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පළා යන පුරුද්දක් මට නැහැ. හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා.ඵලදායී පුරවැසියෙකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින්, ඔබේත් මගේත් මව් බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.“

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.