කෝටි 25ක චීන PCR යන්ත්‍රය මුල සිටම දෝෂ සහගතයි – වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය

ඉන්දික ශ්‍රී අරවින්ද

රුපියල් කෝටි 25ක් වැය කර තැනූ මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රය නැවතත් බිඳවැටී ඇති අවස්ථාවක චීන තානාපති කාර්යාලය කුමක් කීවත් මෙම යන්ත්‍රය ආරම්භයේ පටන්ම දෝෂ සහගත වූ බැවින් එය ඉවත් කර අලුතින් වැඩ කළ හැකි යන්ත්‍රයක් එම රසායනාගාරයට ලබාදිය යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ “අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ මුල්ලේරියාව රසායනාගාරයේ PCR යන්ත්‍රයේ නැවත අක්‍රිය වී ඇති බවයි. එහෙත් චීන තානාපති කාර්යාලය වරින් වර ඔවුන්ගේ සමාජ ජාලාවල සටහන් තබමින් කියා හිටියා මේ යන්ත්‍රයේ දෝෂයක් නොමැති බවය.

මේ යන්ත්‍රය හොඳින් වැඩ කරනවා, මේසයේ ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ, මේසයේ ඇදයක් නිසා තමයි මේක වැඩ කළේ නැත්තෙ කියලා මෙරට චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

“අපි චීනයෙන් ගෙන්වූ රසායනාගාර උපකරණ අතිවිශාල ප්‍රමාණයක් මේ වෙනකොට භාවිතා කරනවා. නමුත් අපි දැක්කෙ නෑ රසායනාගාර උපකරණයක ප්‍රශ්නයක් ඇතිවුණාම තානාපති කාර්යාලයක් තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල ඒ පිළිබඳ අදහස් පළ කරනවා. මොකද මේක චීනෙට අදාළ දෙයක් නෙවෙයි සමාගම් – සමාගම් අතර පවතින ගිවිසුම් අනුව ක්‍රියා කලයුතු කාර්යකි. මේ සමාගම් තමා වගකියන්නේ, ඒ සමාගම්වලින් තමා අපි ප්‍රශ්න අහන්නෙ. නමුත් අපි අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නෙ චීන තානාපති කාර්යාලය. මෙතනත් අපට සැකයක් තියෙනවා. මේක ආධාරයක්ද නැත්නම් අපි සල්ලි දීලා ගත්ත එකක්ද ? ආධාරයක් නම් චීනයට වගකීමක් තියෙනවා. නමුත් අපි මේ රසායනාගාරය හදන්න රුපියල් මිලියන 250ක් වැය කළා. එතකොට ඒක ආධාරයක් නම් අපි සල්ලි වැය කළේ කුමක් සඳහාද ? මෙවැනි ගැටළුත් මතුවෙන බවයි රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රශ්න කර සිටියි. කොහොම වුණත් අපි දිගින් දිගටම දරපු ස්ථාවරය තමයි මේ ස්ථාපිත කරපු යන්ත්‍රයේ කිසියම් දීර්ඝ කාලීන දෝෂයක් ඇති බවයි.

“මේ යන්ත්‍රයත් එක්ක අපට වැඩකිරීමේ හැකියාවක් නැහැ. මේ යන්ත්‍රය තබාගැනීම රසායනාගාර ධාරිතාවය කළමනාකරණය කරන්න ගැටළුවක් වෙනවා. මොකද, සඟවා තබා ගනිමින් හිටියාට මේ යන්ත්‍රය කවදාවත් හරියට වැඩ කළේ නැහැ කියන එක තමයි අපි දිගින් දිගටම මතු කළේ. ඒක අද තහවුරු වෙලා තිබෙනවා. නැවත ඊයෙ පෙරේදා මේක කැඩුණා නෙවෙයි, මේක හැදුවා කියන දවසෙ ඉඳලාම මේක හරියට වැඩ කරලා නැහැ. හැදුවා කියන දවසේ ඉඳන්ම මේක නැවත නැවත කැඩිලා තියෙනවා. මේ යන්ත්‍රයේ කිසියම් ගැටළුවක් තිබෙන බව අපි දකිනවා.
අපි මතු කරන්නේ අතිවිශාල මුදලක් දීලා මිලදී ගත්ත යන්ත්‍රය මොන ජාතියේ යන්ත්‍රයක්ද මෙහෙම කැඩෙන්න ? මොකද ලංකාවෙ වෙනත් කිසිම තැනක මේ විදියට PCR යන්ත්‍ර හෝ විශ්ලේෂක යන්ත්‍ර කැඩීමක් වාර්තා වෙන්නෙ නැහැ.
ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්නෙ නැත්නම් අපට මීට වඩා හෙළිදරව් කිරීම් කරන්න වෙනවා.

මොකද මේ රටේ ජනතාවගේ මුදල් ගසාකන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් කීපදෙනෙකුට ඉඩ දෙන්න බැරි නිසා. මුල්ලේරියාව රසායනාගාරයේ තත්වය බරපතළයි, මේ යන්ත්‍රය වෙනුවට තවත් ඒ ජාතියේම යන්ත්‍රයක් ගේන්න දැන් උත්සාහ දරමින් ඉන්නවා. මෙච්චර දෝෂ තියෙන යන්ත්‍රය වෙනුවට තවත් ඒ ජාතියේම යන්ත්‍රයක් ගෙන ඒම තුළ නැවතත් අර්බුදයට ඇති විය හැක. ඒ නිසා මේ යන්ත්‍රය ඉවත් කරලා හෝ මේ යන්ත්‍රය නැවත දීලා මුදල් ලබාගෙන අපට වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් ගෙනල්ලා දෙන්න” යනුවෙනුයි රජයෙන් ඉල්ලීමක් කරන බව වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.