ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ ලංගම බස් 15 ක් ගිල්වයි

ඉන්දික ශ්‍රී අරවින්ද

ධිවර අමාත්‍යංශයේ ඉල්ලීම මත භාවිතයෙන් ඉවත් කරන ලද අබලන් ලංගම බස් රථ 15 ක් ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ ගිල්වා දැමු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා Colombo Gazette වෙත පැවසිය.
ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය කිරීමේ ව්‍යාපෘති වැඩසටහනකට අනුව මෙලෙස බස් රථ ගිල්වා දමා ඇත.

වසර ගණනාවක් විවිධ හේතුමත වෙන්දේසි නොවී ඩිපෝ තුළ දිරාපත්වෙමින් තිබු මෙම බස් රථ සඳහා නිසි පරිදි ලේඛණ පවා නොතිබීම නිසා ඒවා විකිනීමට නොහැකි තත්වයක්ද පැවතුණි.

ඒ අනුව පසුගියදා නාවික යාත්‍රාවක් යොදා ගනිමින් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් දියබත් කිරීමේ මෙහෙයුම දියත් කිරීමට පියවර ගනු ලැබිය. මේ වනවිට ඉන්දියන් සාගරයේ මත්ස්‍ය සම්පත අඩුවෙමින් පවතින අතර එම මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

මෙලෙස මුහුදේ ගිල්වනු ලබන ලංගම බස් රථයන්හි අවශ්‍ය කරන සෑම අමතර කොටසක්ම ඉවත්කර ගැනීමට මෙහිදී කටයුතු කර ඇත. අබලන් තත්වයේ පැවති මෙම බස් රථ වෙනුවෙන් ධීවර අමාත්‍යංශය ලංගමය වෙත මේ වෙනුවෙන් මුදල් ගෙවීමක් ද සිදුකල බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම බස් රථ ගිල්වනු ලැබූ ත්‍රිකුණාමලය ‘රොකී පොයින්ට්’ (Rocky Point) සහ ‘සැන්ඩි බේ’ (Sandy Bay)වෙරළ තීරය අතර වූ මුහුදු ප්‍රදේශයේ මෙයට පෙරද නාවික හමුදාවට අයත් නාවික යාත්‍රා දෙකක්ද පසුගිය මාසයේදී ගිල්වා දැමීමට කටයුතු කළහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.