සම්බුද්ධ ශාසනයට අනූපමේය සේවයක් ඉටු කල රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමි අපවත් වෙයි

අශන්ති වරුනසුරිය

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් අපවත් වී ඇත. පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් රාමඤ්ඤ නිකායේ  13 වන මහා නායක හිමිපානන් වේ.

2018 දෙසැම්බර් වර්ෂයේදී ද මහානායක හිමියන් මහනුවර මහරෝහලේ හෟද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි සුව විය. උන් වහන්සේ රෝගීව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර අපවත්වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවිය.
විනය විරෝධී භික්ෂූන් වෙනුවෙන් හඬක් නැගූ නාහිමියෝ නිරන්තරයෙන් රටේ පාලන අධිකාරියට ද අවවාද අනුශාෂනා දුන් නා හිමි නමකි. සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙරනමක් ලෙස තෛ‍්‍රනිකායික මහා සඟරුවන අභියස ගෞරව සම්මානයට පාත්‍ර වූ මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක අති පූජ්‍ය නාපාන පේමසිරි නා හිමියෝ එම නිකායේ දහතුන් වැනි මහ නායක පදවියෙන් පිදුම් ලැබූවේ 2012 වර්ෂයේදීය.
ඓතිහාසික කන්ද උඩරට මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරලයේ නාපාන ග්‍රාමය කේන්ද්‍රිය කැර උඩරට සම්භාවනීය පරම්පරාවකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිළමේතුමා හා අතින් අත ගත් නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1923 ජනවාරි 20 දා මෙලොව එළිය දුටු මේ කුමරුවාට ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර යන නාමය තැබූහ.

වලල මූලික පාසලෙන් අත්පොත තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ප්‍රගුණ කළ එම කුමරුවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයෙකු ලෙස සසුන්ගත වූහ. සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යනය කළ නා හිමියෝ 1935 දී කොළඹ වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පරිවෙණස්ථානයට ඇතුළත් වී ඇත.

ප්‍රාචීන ප්‍රාරම්භ මධ්‍යම අවසාන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග පිළිවෙලින් සමත් වූහ. අධ්‍යයන කටයුතුවල නියැලී සිටියදීම භික්‍ෂුවගේ භික්‍ෂුත්වය පරිපූර්ණ තත්ත්වයට පත් කිරීම් වස් 1943 වර්ෂයේ අගෝස්තු මස 6 වැනිදා මහනුවර කටුගස්තොට නගර මධ්‍යයෙන් ගලා බසින පිගාඔය මධ්‍යයේ ඉදිකළ උදකුක්ඛේප පෝය සීමා මාලකයේ දී උපසම්පදා ශීලය ලැබූහ. දීර්ඝ කාලයක් සිදුකළ අධ්‍යනය කටයුතු වලින් ලත් ධර්ම ශාස්ත්‍රීය සේවය පළමුව භික්‍ෂු පරපුරට දායාද කිරීම පෙරටුව 1945 දී නිට්ටඹුව විද්‍යානන්ද පරිවෙණස්ථාන මූලිකත්වය තබාගෙන ගුරු වෘත්තිය ආරම්භ කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි සිංහල සංස්කෘත බුද්ධ ධර්මය යන විෂයන් ඉගැන්වීමේ සිටි නාහිමියෝ ස්වකීය ජන්මලාභය ලත් ගම් ප්‍රදේශයට යාබද මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පරිවෙණස්ථානය 1967 දී ආරම්භ කැර එහි පළමු පරිවෙණාධිපති ධූරයේ වැඩ භාර ගත්හ. එහි පැවිදි භික්‍ෂූන්ට අමතරව ගිහි සිසුන්ද විශාල සංඛ්‍යාවක් වරින් වර අධ්‍යයන කටයුතු වල නියැලී විවිධ පදවි තනතුරුවලට පත් වු වාර ගණන අපමණය.

විශේෂයෙන්ම නා හිමියෝ කිසි දිනක පදවි තානාන්තර පසු පස ලුහු බැඳීම තරයේ ප්‍රතික්‍ෂේප කළහ. උන්වහන්සේගේ භික්‍ෂු ජීවිතය දිනෙන් දින ආලෝකය කරා ගමන් කැරුණ මංපෙත් විවර කැරමින් 1980 වර්ෂය එළඹීමත් සමඟ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධූරය ද 1986 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එම සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවියද 1987 දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධූරයද 1998 දී අධිකරණ සංඝනායක පදවියද 2008 දී මියන්මාර් රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධියෙන්ද පිදුම් ලැබූහ.

ස්වකීය සංඝ සභාවේ නොමද ගෞරව සම්මානයට පාත්‍ර වූ නා හිමියෝ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය උදෙසා සිදුකළ අනූපමේය සේවය ඇඟයුමට ලක්කැර පසුගිය දා අපවත් වී වදාළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක මාහිමියන්ගෙන් පුරප්පාඩු වූ මහනායක පදවිය ඒකච් ඡන්දයෙන් නාපාන පේමසිරි නා හිමියන්ට බාර ගැනීමට සිදු වූහ.

විශාල ශිෂ්‍ය භික්‍ෂු පරපුරක් දායාද කළ මහා නා හිමියෝ සිව් දෙසින් වැඩමකෙරුණ මහා සඟරුවන ගේ ආශිර්වාද මධ්‍යයේ සම්බුදු ශාසනයේ උන්නතිය උදෙසා දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ්‍රී පූර්වාරාමය හා අලුත් වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන රාශියක් නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වය ඇතිව ඉදිකළ සේක.

එම විහාරස්ථානයන්හි ධර්ම පාඨශාලාවන් ආරම්භ කැර ප්‍රදේශයේ දරු දැරියන් ගේ ධර්මාබෝධය වඩා වර්ධනය කිරීම වස් සිදුවූ සේවය අති උතුම් ය. ජාතියේ පිනට පහළ වූ ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ධර්මධර විනයධර මහා තෙරවරුන්ගේ ආශ්‍රය ලැබූ නාහිමියන්ගේ වියෝව දැඩි සංවේගයට කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.