කඩොලාන ශාක වගා කිරීම ඇරඹේ

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කළපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් ආරම්භ වී ඇත.

දැනට මුළු රටේම පවතින කඩොලාන පරිසරය හෙක්ටයාර 15,669 ක් වන අතර එය තවදුරටත් වර්ධනය කරගෙන පරිසරය ආරක්ෂා කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.

එම උපදෙස් අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරයට සමගාමීව කලපු සහිත ප්‍රදේශ කිහිපයක කඩොලාන ශාක පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපති, නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළාය.

කිලිනොච්චිය, මන්නාරම, රැකව ප්‍රදේශවල කඩොලාන ශාක යළි වගා කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදු කෙරුණු අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කඩොලාන ශාක වගා කිරීමේ කටයුතු (17) දිනයේ ද, පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශයේ ක‍ඩොලාන ශාක වගා කිරීමේ කටයුතු 24 වැනිදා ද සිදු කිරීමට නියමිතය.

ඊට අමතරව 22 වැනිදා ගල්කිස්ස මුහුදේ ජලය යට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මල් කඩොල්, මණ්ඩ, හීන් කඩොල් හා පුංකණ්ඩ යන ශාක මෙසේ කඩොලාන පරිසරයේ වගා කෙරේ. කාබන් ඩයොක්සයිඞ් (Cඔ2) වායුව කඩොලාන ශාක මඟින් අවශෝෂණය කරනු ලබන නිසා වායු දූෂණය වැළැක්වීම සඳහා විශාල කාර්යභාරයක් කඩොලාන ශාක විසින් සිදුකරනු ලබයි.

ගෝලීය උණුසුම වැඩිවීම පාලනය කිරීමක් ද කඩොලාන ශාකවලින් සිදුවන නිසා ඉදිරියේ දී ගෝලීය උණුසුමින් පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා වැඩි වශයෙන් කඩොලාන ශාක වගා කිරීමේ අවශ්‍යතාවය ප්‍රබලව පවතී. අන්තර් උදම් කලාපය තුළ කිවුල්දිය පරිසරයෙහි නොනැසී පැවතීමට අනුවර්තනය වී ඇති සුවිශේෂිත සත්ව හා ශාකයන්ගේ එකතුවක් නියෝජනය කරන කඩොලාන පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති විවිධ පරිසර පද්ධති අතරින් විශේෂ ස්ථානයක් ගනී.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2010 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මේ වන විට හෙක්ටයාර 15,669 ක භූමි ප්‍රමාණයක කඩොලාන ව්‍යාප්ත වී ඇතැයි ගණන් බලා ඇත. ශ්‍රී ලංකාව තුළ සත්‍ය කඩොලාන විශේෂ 21 ක් හා කඩොලාන ආශ්‍රිත ශාක විශේෂ බොහොමයක් දැනට හඳුනාගෙන තිබේ. මෙහිදී වඩාත් වැදගත් කරුණක් වනුයේ ලෝක කඩොලාන විශේෂ විවිධත්වයෙන් තුනෙන් පංගුවක් පමණ ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති තුළ නියෝජනය වීමයි.

වෙරළබඩ කලාපයේ පාරිසරික සමතුලිතතාව පවත්වාගෙනයාමෙහිලා කඩොලාන වැදගත් කාර්යභාරයක් සපුරාලයි. මෙම පරිසර පද්ධතිය මඟින් සැපයුම්, නියාමන, සහායක හා සංස්කෘතික ආදී පාරිසරික සේවාවන් සපුරාලමින් වෙරළබඩ අනෙකුත් පරිසර පද්ධතීන්ගේ පැවැත්ම සඳහා දායකත්වය ලබා දෙයි.

ගොඩබිම හා සමුද්‍රීය මායිමේ අතරමැද පිහිටීම හේතුවෙන් ගංගා මෝය හරහා අධික ලෙස ගලා එන රොන්මඩ මෙන්ම අනෙකුත් කාබනික හා අකාබනික අපද්‍රව්‍ය කඩොලාන පරිසර පද්ධති මඟින් මුහුදට යාම පාලනය කරයි. ඒ අනුව කඩොලාන වෙරළබඩ හා ගොඩබිම පරිසර පද්ධති අතර ස්වාරක්ෂක කලාපයක් ලෙස ක්‍රියා කරන අතර දෙපසින්ම ස්වභාවික පෙරහනයක් ලෙස ද ක්‍රියාකරයි. මෙමඟින් මුහුදු තෘණභූමි හා කොරල්පර වැනි සංවේදී වෙරළබඩ පරිසර පද්ධති තුළට අවසාදිත හා පෝෂක ද්‍රව්‍ය සෘජුවම නිකුත් වීම වළකයි.

මුහුද දෙසින් එන උදම්, සුළිසුලං, සුනාමි හා ලවණ ජලය මඟින් මිරිදිය පරිසර පද්ධතිවලට සිදුවන බලපෑම කඩොලාන මඟින් පාලනය කරන අතර ඒ ආශ්‍රිත ජන ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමට දායක වේ. කඩොලාන පරිසර පද්ධතිය මඟින් කාබන් අවශෝෂණය කිරීම සහ රඳවා ගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා දායක වන අතර, එය කඩොලාන සංරක්ෂණය සඳහා ඇති ප්‍රමුඛ හේතුවක් ලෙස ගෝලීය වශයෙන් පෙන්වා දී තිබේ. ජෛව විද්‍යාත්මක වශයෙන් කඩොලාන පරිසර පද්ධති, එහි ස්ථිර ලෙස වාසය කරන සහ සංචාරක පක්ෂීන් ඇතුළු ජීවී විශේෂ සඳහා ආහාර හා ආරක්ෂාව සැපයීම, අබිජනනය කිරීම හා නවාතැන් සඳහා ද අවකාශ සපයා දෙයි.

තවද ආර්ථික වශයෙන් ධීවර කර්මාන්තය හා පාරිසරික සංචාරක කටයුතු සඳහා වෙරළබඩ ප්‍රජාවට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම සඳහා දායකත්වයක් ලබා දෙයි. කඩොලාන පරිසරයෙන් ලබා ගන්නා මත්ස්‍යයින් හා වෙනත් ආහාර වර්ග වෙරළබඩ ප්‍රජාවගේ ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේදී ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වෙරළ ඛාදනය වැළැක්වීම ඇතුළු වාසි රැසක් ද කඩොලාන ශාක මඟින් සිදුකරනු ලබයි.

මෙම හේතූන් මත අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ඉදිරියේදී තවත් දිවයින පුරා කලපු ප්‍රදේශ රැසක කඩොලාන ශාක වගා කිරීමේ කටයුතු සිදු කිරීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සැලසුම් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟිනි.

  • අශන්ති වරුනසුරිය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.