කාලයේ වැල්ලෙන් වැසීගිය මහා කලාගාරය

රාජගිරිය ඔබේසේකර වලව්ව ප්‍රසිද්ධ වූයේ අතීතයේ සිටය. නමුත් මේ වන විට අභාවයට ගොස් ඇත. ඔබේසේකර පරපුරේ ආරම්භකයා ඩොනල්ඩ් ඔබේසේකර, MBE(1888-1864) වන අතර ඔහු විසින් වර්ෂ 1915දී පමණ මුදලි දොන් කරෝලිස් හේවාවිතාරණ පවුලෙන් රාජගිරියේ මෙම වලව්ව සහ අක්කර 50ක ඉඩම මිලදී ගැනීමෙන් මේ වලව්ව නිර්මාණය වී ඇත. සිංහල සිනමාවේ ද නොමැකෙන සලකුණක් තබන මේ වලව්ව 1972 පෙබරවාරි 03 වෙනි දින ප්‍රථමයෙන් තිරගත කල ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කල ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ සිංහල සිනමාවේ විශිෂ්ඨතම සිනමාපටයක් වන නිධානය චිත්‍රපටයේ ප්‍රධාන දර්ශනතලය ලෙස යොදා ගැනිණ. මෙය ඔබේසේකර මහ වලව්ව වන අතර ඊට කිට්ටුවෙන් ඩොනල්ඩ් ඔබේසේකර විසින් ඉදිකර තිබූ තනි තට්ටුවේ නිවස පොඩි වලව්ව නම් විය.

1915දී ඇතිවූ සිංහල මුස්ලිම් කෝලාහල සමයේදී අනගාරික ධර්මපාල තුමාගේ සොයුරු එඩ්මන්ඩ් හේවාවිතාරණ අසාධාරණ අයුරින් සිරගතකොට එහිදීම මියයාම හේතුවෙන් හේවාවිතාරණ පවුලට ඇතිවූ වියවුල්ද මෙම ගණුදෙනුවට හේතුවූවා වන්නට පිළිවන.වලව්වේ වාසයකල අවසන් ඔබේසේකරවරයා වන ෆෙඩ්‍රික් ඔබේසේකර මහතා වරෙක හෙලිකොට ඇති පරිදි මෙහි ඉතිහාසය වර්ෂ 1820 දක්වා දිවයයි.රාජගිරියේ කඳුගැටයක් මුදුනේ මනස්කාන්ත පරිසරයක මේ ගොඩනැගිල්ල මුලින්ම ඉදිකොට ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ බංගලාවක් හැටියට නමුත් ආණ්ඩුකාරවරයා මෙහි පදිංචියට නොපැමිණි බැවින් මෙහි තැපැල් කන්තෝරුවක් පවත්වාගෙන ගොස් ඇත.වලව්වේ ඉදිරිපස බිත්තිය මුදුනේ GPO(Government’s Post Office) යන ඉංග්‍රීසි අකුරු දැක්වෙන ලාංඡනයක්ද තිබී ඇත.

ෆෙඩ්‍රික් ඔබේසේකර මහතාගේ සොයුරු ඇලෙක්ස් ඔබේසේකර මහතා වර්ෂ 2002 අප්‍රේල් මස 24 වෙනි දින අසූහතර හැවිරිදි වියේදී මිය යන තෙක්ම පොඩි වලව්වේ ජීවත්විය. කෝට්ටේ රාජධානියට අයත් රාජකීය ග්‍රාම නාමාවලියේ රාජගිරියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. එද‌ා කෝට්ටේ රජකම් කළ සය වැනි පැරකුම්බා රජතුමාගේ රජවාසලට ඇතුළු වීමට තිබූ කපොලුවලින් ප්‍රධාන කපොල්ල හෙවත් ප්‍රධාන ආරක්ෂක මුරපොළ පිහිටා තිබූ ස්ථානය රාජගිරිය වූ බව පැරණි වංශකථාවල සඳහන් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයට අයත් පල්ලෙපත්තුවේ රාජගිරිය පිහිටා ඇත. වැලිකඩ, ඔබේසේකරපුර, බණ්ඩාරනායක පුර, මාදින්නාගොඩ, කලපළුවාව මේ සියලු ගම්මානවල ප්‍රධාන ගම්මානය රාජගිරියයි.

වේයන්ගොඩ බටදොල වලව්වේ උපත ලද ඩොනල්ඩ් ඔබේසේකර මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කලම්බු ඇකඩමි ලෙස එවක හඳුන්වනු ලැබූ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් බී.ඒ උපාධියක් ලැබූ ඔහු ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩල සභාවේ මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේද සාමාජිකයෙක් වීය.බ්‍රිතාන්‍යයේදී බොක්සිං ක්‍රීඩාව ප්‍රගුණකල ඔහු ලංකාවටද බොක්සිං ක්‍රීඩාව හඳුන්වාදුන්නේය.ක්‍රීඩාවට ඇති ලැදියාව නිසාම ලංකාවේ ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයද දැරීය.ඔහු ජොහානා එතල් පෙරේරා මෙනෙවිය සමග විවාහවූ අතර ඔබේසේකර යුවලට දරුවන් සයදෙනෙකි.ඔවුන් නම් ඩන්ටන් ඔබේසේකර ,ඊඩීත් කොර්නේලියා සීතා ඔබේසේකර ,අසෝක ඔබේසේකර ,අමීලියා ඔබේසේකර , ඇලෙක්සැන්ඩර් ඉන්ද්‍රජිත් ඔබේසේකර සහ ෆෙඩ්‍රික් විමලධර්ම ඔබේසේකරයි.මේ දරුවන් අතරින් මහ වලව්ව ෆෙඩ්‍රික් ඔබේසේකරට හිමිවූ අතර කුඩා වලව්ව ඇලෙක්ස් ඔබේසේකරට හිමිවිය.ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ පියා ලෙස හැඳින්වෙන ඩොනල්ඩ් ඔබේසේකර මහතාගේ බොක්සිං ක්‍රීඩාව හා ඇතිවූ බැඳීම හේතුවෙන් ඔහුගේ පුතුන් වන ඩන්ටන්,ෆෙඩ්‍රික් හා ඇලෙක්ස් යන තිදෙනාම බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ විය.ඇලෙක්ස් වර්ෂ 1950 දී ශ්‍රී ලංකාව නියෝජනය කොට ඕක්ලන්ඩ් හී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටද සහභාගී වී වෙල්ටර්වේට් බරපන්තියෙන් ලෝකඩ පදක්කමද දිනාගත්තේය.ෆෙඩ්‍රික් හා ඇලෙක්ස් යන දෙදෙනාම බොක්සිං ක්‍රීඩාවේ විනිශ්චයකරුවන් ලෙස ක්‍රියාකොට ඇත.

වලව්වේ ගෙවත්තේ වයඹ දෙසින් අඩි 20ක් පමණ උස සීනු හැඩැති ශක්තිමත් යකඩින් සහ වානේ දැල්වලින් නිර්මාණය කල කූඩුවක් විය.එහි මොණරුන් දෙදෙනෙකු සහ සෙබඩ තිදෙනෙක් හා වලි කුකුලෙක් විය.නිවසේ දකුණු පසට කිට්ටුව අශ්ව ගාලක් පිහිටා තිබුණි.ඩොනල්ඩ් ඔබේසේකර මහතා ජීවත්ව සිටියදී අශවයින්ට ප්‍රියකල අතර රේස් අශවයින් කීපදෙනෙක්ම අශ්වගාලේ සිට ඇත.ෆෙඩ්‍රික් ඔබේසේකර ඇතුලු ඔබේසේකර පවුලේ දරුවන් පාසැල් ගොස් ඇත්තේද අශ්ව කරත්තයෙනි.

වලව්වේ සිට මඳ දුරකින් ඇන්ග්ලිකන් දේවස්ථානයක් තිබී ඇති අතර එය ඉරිදා දින දේව මෙහෙයන් සඳහා ඔබේසේකර පවුල විසින්ම ඉදිකරන ලද්දකි. නිධානය සිනමාපටයේදී මේ වලව්වේ ප්‍රෞඩත්වය මනාව සිතුවම්කොට ඇත. ෆෙඩ්‍රික් ඔබේසේකර මහතා බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබූවෙකු විය. ඔහු ලංකාවේ ආධුනික බොක්සිං සංගමයේ සභාපතිවරයා මෙන්ම ආසියානු ආධුනික බොක්සිං සම්මේලනයේ උප සභාපතිවරයෙකුද විය.වර්ෂ 1947 පලමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ ආසනයට බයිසිකලය ලකුනින් තරඟ කල ඔහු චන්ද 1333ක් දිනාගත්තේය.පසුව 1968 මාර්තු මැතිවරණයේදීද දොම්පේ ආසනයට තරඟ කලේය.ඔහුගේ උපතේ සිට වර්ෂ 2001 ජූලි 2 වන දින 89 හැවිරිදි වියේදී මියයාමට දින කීපයකට පෙරාතුව රෝහල්ගත කරන තෙක්ම රාජගිරිය ඔබේසේකර මහ වලව්වේ පදිංචිව සිටියේය.අවිවාහකයෙකු වූ ඔහු සමග වලව්වේ පදිංචිව සිටියේ ඔහුගේ විශ්වාසවන්ත මහළු සේවකයා සහ කෝකියෙකු පමණි.ඔබේසේකර වලව්ව විශාල ගස්වලින් වටවූ සිහිල් වටපිටාවක පිහිටි අතර එයින් වලව්වට ලත් අඳුර නිධානය චිත්‍රපටයේ කැමරාකරණයටද අභියෝගයක් වූ බව නිධානය චිත්‍රපටයේ කැමරාකරු එම්.එස් ආනන්දන්ද වරෙක පවසා ඇත.පුළුල් වැරැන්ඩාවක් නිවස වටේම දිවයන අතර පෞරාණික කළුවර දැවයෙන් නිර්මිත ගෘහභාණ්ඩ වලින් අලංකාර වූ විශාල සාලයට පිවිසීමට දොරටු කීපයක්ම විය.ඉහල මාලයට පිවිසීමට පුළුල් ලී පියගැටපෙලක් වූ අතර එහි ගෙබිම සොල්දර ක්‍රමයට ශක්තිමත් ලෑලි අතුරා ඇත.

උඩුමහලේ සිට වලව්ව නැරඹීමට දෙපසින් ලී බැල්කනි දෙකක් තිබූ අතර ඒවාගේ පියැසි ලී කැටයමින් යුත් වඩිම්බු වලින් අලංකාර විය.උඩුමහලේ වූ උඩු වියනකින්ද යුක්තවූ පෞරාණික විශාල ලී ඇඳ නිධානයේ විලී අබේනායක සහ අයිරින් යුවලගේ සිරියහනයි.උස්වූ ස්ථානයක පිහිටි වලව්වේ සිට අනූව දශකයේ අගදී ලංකා බැංකු මූලස්ථානය වූ “පිට්ටු බම්බුව”ද මනරම්ව දර්ශනය විය. නිධානය චිත්‍රපටයේ රූගතකිරීම් අතරතුර වලව්වේ සමහර පැරණි ගෘහභාණ්ඩ සහ තවත් වටිනා පෞරාණික භාණ්ඩ කීපයක්ම අතුරුදහන්වී ඇතැයි යන්න ප්‍රසිද්ද කතාවකි.

වලව්ව සම්බන්ධ සෝචනීය සිදුවීමක් වන්නේ වර්ෂ 2001ට ආසන්න කාලයේ එවකට හමුදාවේ උසස් නිලයක් දරන්නෙකු නාවල නමගිය අපරාධකරුවෙක් හා සම්බන්ධව වියපත් ෆෙඩ්‍රික් ඔබේසේකර මහතා ජීවත්ව සිටියදීම ඔහුට නිවසින් පිටවීමට පටු මාවතක් පමණක් ඉතිරිකොට කම්බිවැටක් ගසා මේ වටිනා ඉඩම නීතිවිරෝධීව බලහත්කාරයෙන් අල්ලාගැනීමයි. පසුව ව්‍යාජ ඉඩම් ඔප්පුවක්ද සාදා මේ ඉඩම භුක්තිවිදීමට තැත්කොට ඇති අතර මේ සම්බන්ධව නඩුවක්ද විභාග වෙමින් පවතී.

  • අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.