කොවිඩ් ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගයක් ප්‍රතිනිර්මාණය කොට යළි රජයට

ඉන්දික ශ්‍රී අරවින්ද

කොවිඩ් වෛරසය ව්‍යාප්තිය වැළක්වීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලය සහ ජාතික පර්යේෂණ සභාව ඒකාබද්ධව නිර්මාණය කළ ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගය කිසියම් පාර්ශවයක් විසින් යළි ප්‍රතිනිර්මාණය කර රජයට භාර දී ඇති බව වාර්තා වෙයි.

මෙම ජංගම දුරකථන යෙදවුම මගින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංචරණය කරනු ලබන ස්ථාන පිළිබදව නිරීක්ෂණය කිරීමට මෙන්ම තමා අවට එම වෛරසයෙන් පෙළෙනු ලබන රෝගීන් පිළිබඳව යම් ඉගියක් ජංගම දුරකථනය වෙත ලබා දීමේ හැකියාවක්ද පවතී.

මෙම ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගය පිළිබඳව මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාටත්,අග්‍රාමාත්‍යවරයාටත් සහ සෞඛ්‍ය අමාත්‍යංශයටත් පමණි.

එහෙත් මෙම ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගය කිසියම් පාර්ශවයක් අතට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එවැනි පහත් ආකාරයේ සිදුවීමක් ඇති වී තිබෙන බවට තමාටද දැනගන්නට ලැබුණු බවයි.

එම මෘදුකාංගය නිර්මාණය කිරීම සඳහා ජාතික පර්යේෂණ සභාවෙන්ද රුපියල් ලක්ෂ 5 පමණ මුදලක් වැයකළ බවත් එහි ප්‍රථිපල ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමා කණගාටු වන බවයි. තමා පසුගිය දිනෙක ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවකදී එතුමත් සමග කරුණු පැහැදිළි කර ඇති බවත් එතුමාගේ ජංගම දුරකථනයේද එම යෙදවුම් මෘදුකාංගය බාගත කර ඇති බවත් දැනගන්නට ලැබූ බවත් ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ තමන් ඇතුළු කණඩායමක් විසින් නිර්මාණය කළ එම ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයටත් භාර දී ඇති අතර එහෙත් මේ වනතුරුත් ඒ පිළිබඳව කිසිඳු විමසීමක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොකළ බවයි.

එහෙත් මෙම ජංගම දුරකථන යෙදවුම් මෘදුකාංගය විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇති අතර එය කොවිඩ් වෛරසය ව්‍යාප්තව ඇති රටවල් කිහිපයක්ම දැනට භාවිතා කරමින් පවතින බවයි. නමුත් අපේ රටේ අයට මෙවැනි නිරමාණයක් සඳහා අගයක් නැති වුනාට වෙනත් රටක කවුරු හෝ එයින් ප්‍රයෝජනයක් ගන්නේ නම් තමන් සතුටු වෙන බව තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.