ඉන්දික ශ්‍රී අරවින්ද
කෝටි ගණනක් වටිනා රථ වාහන, යන්ත්‍රෝපකරණ කාර්යාල භූමි වල, වැඩ බිම්වල දිරාපත් වෙන බැවින් වහාම මේ ගැන සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දා එම ආයතන ප්‍රධානීන්ට නියෝග කර තිබේ.
මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයන්ට අයත් කාර්යාල භූමි තුළ කෝටි ගණනක් වටිනා කාර්, කැබ් රථ, ජීප් රථ, ටිපර් රථ, එස්කැවේටර්, ඩෝසර් ඇතුළු රථ වාහන හා මාර්ග සංවර්ධනයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ දිරාපත් වන්නට ඉඩ හැර ඇති බව එහිදී අමාත්‍යවරයාගේ අවධානයට ලක්විය.
පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව සොයා නොලැබීම නිසා වල් බිහිවී විනාශ වී ඇති බව අමාත්‍යවරයා පවසයි. මෙම යන්ත්‍රෝපකරණ මේ ආකාරයෙන් විනාශවීම ජාතික අපරාධයක් බව සදහන් කල ජොන්ටන් ප්‍රනාන්දු මහතා සියළුම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබදව වාර්තාවක් හා එහි වටිනාකම්ද තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙස මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට, අමාත්‍යවරයාගේ ලේකම් මෙහොමඩ් ශාකීර් මහතාට හා මාර්ග සංවර්ධන අධිකාරියේ යාන්ත්‍රික අධ්යක්ෂවරයාට නියෝග කලේය.
වහාම මෙම වාහන අළුත් වැඩියා කර භාවිතයට ගන්නා ලෙස අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට මෙහිදී උපදෙස් දෙන ලදී.