ඉන්දික ශ්‍රී අරවින්ද
අනෙකුත් රටවල මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම නිසා බව වෛද්‍යවරු පෙන්වා දෙන අතර ඔවුන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂමහතා අවධාරණය කරයි.
කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්රිත රෝගීහූ ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙති. බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති අතර පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබේ.
මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිවරයා නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.
හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතුය. එම ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට හෝ කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාරය ආශ්රිත කොවිඩ් තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්විමට ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට මෙහිදී අවධාරණය කළේය.