ඉන්දියානු ප්‍රදාන යටතේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්

ඉන්දියානු ප්‍රදාන යටතේ ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අවබෝධතා ගිවිසුමක් 2020 නොවැම්බර් මස 10 වන අඟහරුවාදා දින අරලිය ගහ මන්දිරයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබිණ.

2020 සැප්තැම්බර් 26 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේදී ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් දෙරට අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර පහක් සඳහා දීර්ඝ කෙරෙන බව ප්‍රකාශ කෙරිණ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් විසින් අද දින අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගී විය.

ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ ශ්‍රී ලංකා රුපියල් බිලියන 20ක පමණ ඉන්දියානු රජයේ ප්‍රදානයන්ගෙන් ව්‍යාපෘතීන් 64ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇත. තෙවන අදියර සඳහා අද දින අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් රාමුව අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය, අධ්‍යාපන, ජල පහසුකම්, සනීපාරක්ෂාව සහ කෘෂිකර්මාන්තය යනාදී සමාජීය අංශයන් තුළ ශ්‍රි ලංකා රුපියල් මිලියන 300ක් දක්වා තනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ හැකිය. යම් අවසථාවක එවැනි සියළු ව්‍යාපෘතීන්හි සමස්ත පිරිවැය ශ්‍රී ලංකා රුපියල් බිලියන 5ක් දක්වා විය හැකිය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ දැනට ක්‍රියාත්මක ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කිරීමටද ද්විපාර්ශවික සමුළුවේදී එකඟ විය. මෙම ව්‍යාපෘතීන් විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හෝ ප්‍රජා සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ යටිතල පහසුකම් ගොඩනැගීම තුළින් සමාජ ආර්ථික සංවර්ධනය, ජීවනෝපාය සහය, පාරිසරික සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම, කාන්තා සවිබල ගැන්වීම, ළමා සුබසිද්ධිය සහ ප්‍රජා ජිවිතය පහසු කිරිම යන අංශයන්ට සම්බන්ධ වේ. ශ්‍රී ලංකා පර්ශවයෙන් ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ කේන්ද්‍රීය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයයි.

දැනට උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, මධ්‍යම, ඌව, සබරගමුව සහ නැගෙනහිර යන ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය කරමින් ව්‍යාපෘතීන් 21ක් මෙම අවබෝධතා ගිවිසුම යටතේ ක්‍රියාත්මක කර ඇත. ප්‍රාථමික පාසල් සහ විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන, විශ්ව විද්‍යාල, රෝහල්, දුෂ්කර ප්‍රදේශයන්හි සනීපාරකෂක පහසුකම්, සංස්කෘතික උරුමය, වැසි වතුර එක්රැස් කිරිම, දුගී ජනතාව සඳහා නිවාස, කෘෂි ගබඩා, සංචාරක කර්මාන්තය, සිවිල් ගුවන්සේවා යටිතල පහසුකම් වැනි ව්‍යාපෘතීන් මෙයට ඇතුළත් වේ.

ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාවේ සංවර්ධන අභිලාෂයන් සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකසා ඇත. සෑම විටම මෙම ව්‍යාපෘතීන් පවතින ඉල්ලුම පරිදි ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ අවශ්‍යතාවයන් අනුව ක්‍රියාවට නංවා ඇත. එසේම, මෙම ව්‍යාපෘතීන් ක්‍රියාවට නැංවීමේ වියදම් සහ පරිපාලන පිරිවැය ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ තිබෙන අන් සියලු ව්‍යාපාතීන් මෙන්ම ඉන්දීය රජය විසින් වෙනමම අවශෝෂණය කර ගන්නා අතර ව්‍යාපෘති වියදමට ඇතුළත් නොවේ.

මෙම ව්‍යාපෘති යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන්ම නියමිත ව්‍යාපෘති අයවැය මත පදනම් වන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංවර්ධන සහයෝගීතාවයේ ගැඹුර පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ විවිධ අමාත්‍යාංශ හරහා ක්‍රියාවට නැංවේ. ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සමීපව කටයුතු කිරිමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම ඉහළ ප්‍රජා බලපෑමක් සහිත සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් පිළිඹිබු වේ.

අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමේ උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ පැවති පිළිසඳරේදී මහ කොමාසරිස් බාග්ලේ මැතිතුමා උදා වන දීපවාලී උත්සවය නිමිත්තෙන් සිය සුබ පැතුම් එක් කළ අතර මෑතකදී අරලිය ගහ මන්දිරයේදී පැවති නවරාත්‍රී පූජා සැමරුම පිළිබඳවද සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.