පොලිසියේ කොරෝනා වැඩි වෙද්දී හෙරොයින් ජාවාරමේ ගිය නිලධාරියකුත් හසුවේ

අශන්ති වරුනසුරිය

බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 කට මේවනවිට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. පොලිස් නිලධාරීන්ගෙන් 06 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා ඇති අතර කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් 250 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි.

මේවනවිට නිරෝධායනට යොමු කර සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 317 ක් වන අතර නිලධාරීන් 1447 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. ඉන් නිලධාරීන් 23 දෙනෙකු මේ වනවිටත් සිය නිරෝධායන කටයුතු අවසන් කර ඇත.

එමෙන්ම පොලිස් මූලස්ථානයට අයත් විශේෂ කොට්ඨාශයක උසස් නිලධාරියෙකුගේ රියදුරෙකු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය අංශයෙන් අප කල විමසීමට අනුව දැන ගැනීමට හැකිවුයේ සැකකරු දීර්ඝ කාලයක සිට තම නිල ඇඳුම හා හැඳුනුම්පත අවභාවිත කරමින් හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ඇති බවය.

ගාල්ල සිට පානදුර දෙසට ධාවනය වූ මෝටර් රථයක් නවතා බණ්ඩාරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමත් සමගයි සැකකාර රියදුරා පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත. සැකකරු සමඟ හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද එහිදී හැකිවී ඇත ඔවුන් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ කසුන් පුෂ්පකුමාර කරවලයා ලෙස හැදින්වෙන මත්ද්‍රවය ජාවාරම් කරුද සිටියි.

එමෙන්ම මේ වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්තව සේවය කරනු ලබන සියළුම ගර්භණි පොලිස් නිලධාරිනියන් සහ අවුරුදු 02 කට වඩා අඩු දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරිනියන්ට සේවය සඳහා වාර්තා නොකට නිවසේ රැඳී සිටීමට අවසර ලබාදී ඇත. බස්නාහිර පළාතේ ව්‍යාප්ත වෙමින් තිබෙන වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම කාන්තා නිලධාරිනියන්ට සේවයට වාර්තා නොකොට නිවසට වී සිටීමට අවසරය හිමිවන බවත් ආයතන සංග්‍රහය අනුව ඔවුන්ගේ වැටුප් ලබාදීම සිදුකරන බවයි පොලිස්මාධ්‍ය අංශය සදහන් කළේය.

තවද කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින සහ නිරෝධායනයට හෝ ස්වයං නිරෝධායනයට යොමු කොට සිටින පොලිස් නිලධාරින් ගේ නිවෙස්වල සාමාජිකයින්ට රුපියල් 5000 ක පැකේජයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් තීරණය කොට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.