කොවිඩ් තර්ජන මැද ජනතාව සිටිය යුතු අයුරු

අශන්ති වරුනසුරිය

හෙට (09) දින බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් එළිදැක්වීමට නියමිත බවත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් මේ වනවිට හඳුන්වා දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

“තාම එළිදැක්වූවේ නැති වුණත් ප්‍රවාහනය පිළිබඳව ක්‍රමවේද 3ක් අපි මේ වනවිට යුද හමුදාපතිවරයාටත් සෞඛ්‍ය අංශවලටත් හඳුන්වා දීලා තියෙනවා. සඳුදා හෝ අඟහරුවාදා වෙනකොට අපි කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් තත්ත්වය යටතේ සුරක්ෂිතව මගීන් ප්‍රවාහනය කිරීම කෙසේ සිදුවිය යුතුද කියන දේ පිළිබඳව තමයි එහි සකස්කරලා තියෙන්නේ. සාමාන්‍ය ක්‍රමය යටතේ ධාවනය කරනවා නම් ඒ කියන්නේ මගීන් අසුන්ගෙන වගේම හිටගෙනත් යනවා නම් ගාස්තු අපි වැඩිකරන්නේ නෑ. අනෙක් ක්‍රමවේදය ආසන ගණනට මගීන් ධාවනය කිරීම. තුන්වෙනි ක්‍රමවේදය තමයි යම් නිරෝධායන ප්‍රදේශයක තර්ජනයක් තියෙනවා කියලා සෞඛ්‍ය අංශ අපිට දැනුම් දුන්නොත් එක ආසනයකට එක මගියෙක් බැගින් රැගෙන යාම. මේ ක්‍රමවේද දෙකේ යම් ගාස්තු සංශෝධනයක් අපිට කරන්න වෙයි,” යනුවෙන් ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති පොලිස් බලප්‍රදේශයන්හී දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට තීරණය කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරීවරයා පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී රංජිත් පත්මලාල් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් හෙට (09) සිට උදෑසන සහ පස්වරු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.
දුම්රිය නොනවත්වන ප්‍රදේශ පහතින් දක්වා ඇත.

කෙසේ වෙතත් කොවිඩ් -19 වෛරසයේ නව ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරිමේ දී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කර තිබිණි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බවය. “අලුත් වෛරස් ප්‍රභේදයත් එකක් දුරස්ථභාවය දැන් මීටර් එකහමාරක් දෙකක්වත් වෙන්න ඕනේ කියලා තමයි විශේෂඥවරු කියන්නේ. දෙයියන්ගෙ ලෙඩ හැදුනා වගේ වෙන්වෙලා ගෙදර ජීවත් වෙනවා නම් කොවිඩ් අනෙක් අයට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මානව ප්‍රජාවගේ හැසිරීම තමයි කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන්නේ. මේ රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය තියෙන්නේ මහජනතාව වන ඔබත් මමත් අතර”. යනුවෙන් ඔහු මේ පිළිබදව පැහැදිලි කරමින් සදහන් කළේය.

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඊයේ (07) දිනය වන විට කොවිඩ් -19 ආසාදිතයින් වාර්තා විය. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන පරිදි ඊයේ දිනයේ අදාළ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබු අතර වැඩිම සංඛ්‍යාව වූ ආසාදිතයින් 177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. ඒ අනුව ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් පහත පරිදි වේ,

කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් – 72
නුගේගොඩ – 09

ගම්පහ දිස්ත්‍රික්කය – 174
කුරුණැගල දිස්ත්‍රික්කය – 25
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
නුවරඑළිය දිස්ත්‍රික්කය – 12
කළුතර දිස්ත්‍රික්කය – 10
මහනුවර දිස්ත්‍රික්කය – 09
පුත්තලම දිස්ත්‍රික්කය – 07
රත්නපුර දිස්ත්‍රික්කය – 06
මඩකලපුව දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01

මේ අතර ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර පෑලිගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ද විය. ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳීරිනීතිය කඩකළ පුද්ගලයින් ගැන කතා කිරීමේදී 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාලය තුළ රථවාහන 22ක් ද පොලිස්භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරිනීතිය පැනවු ඔක්තෝබර් මස 04 වනදා සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලයින් 2832ක් සහ රථවාහන 425ක් පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී මුහුණුඅවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබානොගැනීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 116ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සියල්ල හමුවේ නිවෙස්වල නිරෝධායනය වන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේය. මෙලෙස නිරෝධායනය වන පිරිස් සමීපව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද සෞඛ්‍ය අංශ හරහා ක්‍රියාත්මක ය. කොවිඩ් රෝගියකු ඇසුරු කළ හෝ ඇසුරු කර ඇතැයි සැකකරන, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් බාහිර ඇසුරෙන් මිදී නිවෙස්වලට වී නිශ්චිත කාලයක් ගතකිරීම නිවෙස්ගත නිරෝධායනය වෙයි.

අදාළ පුද්ගලයා රෝගියකු අවසන්වරට ඇසුරු කළා යැයි සැකකරන දින සිට අවම වශයෙන් දින 14ක කාලයක් මෙලෙස නිරෝධායනයට ලක් කෙරෙයි.
කොවිඩ් රෝගියා ඇසුරු කළා යැයි සැකකරන පුද්ගලයා නිවසේ වෙනම කාමරයක රැඳී සිටීමත්, හැකි සෑමවිටම වෙනම නාන කාමරයක්, වැසිකිළියක් භාවිත කිරීමත් වැදගත් ය.

එසේ කිරීමට අපහසු අවස්ථාවල භාවිතයෙන් පසු ජල කරාම, දොර හැඬල ආදිය සබන් හෝ පිරිසිදුකාරක යොදා පිරිසිදුකිරීමත් අනිවාර්ය වෙයි. සෑමවිටම පෞද්ගලිකව පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, තුවා, පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය වෙනමම තැබිය යුතු අතර එසේ භාවිතකරන උපකරණ වෙනමම සබන් යොදා හොඳින් සේදීමත් අත්‍යවශ්‍යය ය. “ඔබ නිවසේ සිටියදී නිවස තුළට වාතාශ්‍රය හොඳින් ලැබෙන්නට ඉඩහැරිය යුතුය.”

නිවස තුළ පවුලේ සාමාජිකයන් හමුවන විට මුහුණු ආවරණ පැළඳිය යුතු අතර එකිනෙකා අතර මීටරයක පරතරයද පවත්වාගත යුතුය. අපිරිසිදු දෑත්වලින් මුහුණ, කට, නාසය, ඇස් ඇල්ලීමෙන් වැළකිය යුතු අතර සබන් යොදා අවම වශයෙන් තත්පර 20ක්වත් දෑත් හොඳින් සේදීමට පියවරගත යුතුය. හැකිනම් නිවසේ සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය දවසට දෙවරක්වත් උෂ්ණත්ව මානයකින් මැන බැලීම යෝග්‍ය වේ.

වයස්ගත හෝ නිදන්ගත රෝගයකින් පෙළෙන අය නිවසේ වෙසේනම් ඔවුන් හැකිතරම් ඈත්ව තැබිය යුතු අතර ඔවුන් නියමිත ඖෂධ නිසියාකාරව ගැනීමද වැදගත් වේ. “ඔබ භාවිත කරන ටිෂූ කඩදාසි, ඉවතලන මුහුණු ආවරණ ආදිය පියන සහිත කසළ බඳුනකට බැහැර කිරීමට කළයුතුය.”

පෝෂ්‍යදායි ආහාර නිතර ආහාරයට ගැනීම, දිනකට වතුර ලීටර 2 ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම මෙන්ම සැහැල්ලු මනසකින් සිටීම අනිවාර්යෙන් කළ යුතුය. එසේ නිවෙස්ගත නිරෝධායනයට යොමුව සිටින ඔබට යම්හෙයකින් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතා, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ ඇතිවුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට හැකි ඉක්මනින් දැනුම්දිය යුතුය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.