එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි රාජපක්ෂ මහතා අද(05) පැවති දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවකදී නිළධාරීන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබේ.
කොවිඩ් ආසාදිතයන් ආශ්රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්නය. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් මේ වනවිට නිරෝධායනය වෙයි.
නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව රාජපක්ෂ මහතා නිළධාරීන්ට අවධාරණය කර ඇත.
ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවී ඇත.
ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරුණ අතර සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇති අතර පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත