ටෙලි රූගත කිරීම්වලට එරෙහිව ජනමාධ්‍ය ඇමතිවරයාට පැමිණිල්ලක්

ඉන්දික ශ්‍රී අරවින්ද

මේ දිනවල සියලුම රූපවාහිනී නාලිකාවල අඛණ්ඩව විකාශය කරමින් තිබෙන ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා සෞඛ්‍ය අංශවලින් දිගින් දිගටම බාධා එල්ලකරන බවට ශ්‍රී ලංකා විද්‍යුත් විකාෂකයින්ගේ සංසඳය විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයාට අද(04) දින ලිඛිත පැමිණිල්ලක් කරනු ලැබිය.

මෙලෙස බාධා එල්ලවන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය උපමානයන්ට යටත්ව ටෙලිනාට්‍ය රූගතකිරීම් සඳහා අවසර ලබාදී ඇති පසුබිමකදියි. අදාළ අවසරය ලබාදී ඇත්තේ ඉකුත් මැයි 5 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලීමකට අනුව බව එම ලිපියේ සඳහන් වෙයි.
රටේ ජනතාවට සංචරණයන් සීමාකොට නිවෙස්වලම කාලය ගතකිරීමට උපදෙස් ලබාදී ඇති මොහොතක ජනතාවට ඇති ප්‍රධානම විනෝදාස්වාද මාධ්‍ය රූපවාහිනිය බව එහි දැක්වෙයි.

රූගත කිරීම් නතරකළහොත් ඍජුවම ගැටෙන 4500 ක පමණ රැකියා අහිමිවන බව මෙම සංසදය පෙන්වා දෙයි.
මේ අතර “දෙරණ”,”ජාතික රුපවාහිනිය” යන නාලිකාවන්හි ටෙලි නාට්‍ය රූගතකිරීම් ද සෞඛ්‍ය අංශයේ මැදිහත්වීමකින් නවතා ඇතැයි වාර්තා වෙයි.

මෙම තත්වය වර්ධනය වීමට පෙර මේ සඳහා මැදිහත්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාෂකයින්ගේ සංසදය ඉල්ලා තිබේ.

එහි පිටපත් ජනමාධ්‍ය අමාත්‍යාංශයටත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාටත්, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාටත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගේ සංගමයටත් යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.