ඉන්දික ශ්‍රී අරවින්ද
අලුත් ජාතික කොඩියේ ‘සිංහයාට’ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වෙමින් තිබේ. ඒ අනුව ජනාධිපතිට පිළිගැන්වූයේ ප්‍රමිතියෙන් තොර ජාතික කොඩියක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පිළිගත් බවට ඔහු සිය ට්විටර් ගිණුම හරහා අවධාරණය කර සිටියි.
මෙරට ජාතික සහ බෞද්ධ කොඩි අවශ්‍යතාව දේශීයව නිෂ්පාදනයට තම අමාත්‍යාංශය සූදානම් බවට බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බතික් නිර්මාණයක් ලෙස කළ ජාතික ධජය පසුගිය දා (30) ජනාධිපතිවරයාට පිළිගන්වමින් සඳහන් කර ඇත.
මෙහිදී අමාත්‍යවරයා නිර්මාණය කරන්නේ වැරදි ධජයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී තිබේ.
අලුත් කොඩියේ සිංහයා කඩුව අල්ලන්නේ මිටෙන් නොව තලයෙන් බව ඇතැමුන් පෙන්වා දෙයි. මේ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ට්විටර් පණිවිඩයක් මගින් සඳහන් කරමින් කියා සිටින්නේ ජනාධිපතිවරයාට පෙන්වනු ලැබූ ජාතික කොඩිය අප ලාංකික නිපැයුම්කරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ ඒවා බැවින් මෙම නිපැයුම් හොදින් තෝරා බලා ප්‍රමිතියකට අනුව දේශීය වෙළඳපොළට නිකුත් කරන බවයි.