මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නවා – ඩයනා ගමගේ

ඉන්දික ශ්‍රී අරවින්ද

මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී තමා ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බවත් තවදුරටත් සමගි ජනබලවේගය පක්ෂයේ රැදී සිටීමට බලාපොරොත්තුවක් නොමැති බව සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය Colombo Gazette වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සඳහා තමා ශත පහක මුදලක් කිසිම අයෙකුගෙන් ලබා නොගෙන ඇති අතර එලෙස මුදල් ලබා ගත් බවට ඔප්පු කෙරුවොත් තම මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සුදානම් බව ඩයනා ගමගේ මහත්මිය පවසයි.
එහෙත් තමාව කිසි විටෙකත් එම පක්ෂයෙන් ඉවත්කළ නොහැකි බවත් තමාට ලැබුන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පක්ෂය නිසා ලැබුණු ධුරයක් බවයි ඇය පවසන්නේ.

ලගදීම දේශපාලන තීන්දුවක් ගන්නා බවත් ඒ වෙනුවෙන් ආණ්ඩුව දෙන ඕනෑම තනතුරක් ලබා ගැනීමට සුදානම් බවත් ඩයනා ගමගේ මහත්මිය පවසයි. තම රට ගැන හිතලා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ බව පැවසු ගමගේ මහත්මිය රජයට සහය ලබා දෙන බව කලින් දවසේ තම සැමියා සමග එක්ව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කල බව අවධාරණය කළේය.

ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව මුලින්ම පැහැදීමක් ඇති උනේ ඒ මහතා ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලය තුළදී බවත් තමා ගත් තීන්දුව ආපස්සට ගැනීමට සුදානම් නැතැයි අවධාරණය කළහ. තමාගේ සහ තම සැමියා තනතුරු දරණ සමගි ජනබලවේගය පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට දුන්නේ හදවතින්ම බවත් ඒ සඳහා කිසිම අවස්ථාවක මුදල් ලබානොගත් බවත් ඇය පැවසිය.

ඒ වගේම තමාට බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය ඇති බවට ප්‍රකාශ කෙරුවත් එවැනි දෙයක් නොමැති බව පැහැදිලි කළ ගමගේ මන්ත්‍රීවරිය තම පවුලේ කිහිපදෙනෙක්ම අදටත් පදිංචිව සිටින්නේ බ්‍රිතාන්‍යයේ බවයි ප්‍රකාශ කලේ.මේ වනවිට තම සැමියාට අයත් ව්‍යාපාර කිහිපයක් බ්‍රිතාන්‍ය තුළ මෙන්ම තවත් රටවල් කිහිපයක ලියාපදිංචි කර ඇති බව ඇය පැවසිය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජයට සහය දැක්වුවත් අද වනතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත්,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත්,බැසිල් රාජපක්ෂ මහතාවත් කථා කරලා සුබ පැතුවේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.