ලබන වසරේ උමාඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට

ලබන වසර මැද වනවිට උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කිරිමට අපේක්ෂා කරන බව විදුලි බල අමාත්‍ය රවි කරුණානයක මහතා පවසයි.

ඉන් අපේක්ෂිත මෙගාවොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්නට හැකි වන බවද විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අද පවතින විදුලි ඇන හිටීම් වලට ප්‍රධානම හේතුව මෙවැනි ව්‍යාපෘති ඉදිකිරිම යම් යම් හේතුන් මත ප්‍රමාද වීම බවය.

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත උත්පාදන ධාරිතාව මෙගාවොට් 120 කි.

ව්‍යාපෘතිය පුහුල්පොල හා ඩයබරා අසල කුඩා ජලාශ දෙකකින් සමන්විත වන අතර, එම ජලාශ දෙක උමගකින් සම්බන්ධ වෙයි.

රන්දෙණියෙහි පිහිටි භූගත විදුලි බලාගාරය හරහා (transbasin) උමගක් ඔස්සේ, ජලය උමා ඔයේ සිට කිරිඳි ඔය දක්වා යොමු කරයි. කිලෝ මීටර 27 ක් දිග ද.වෝ. 132 (kV) සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියක් මගින් මෙම බලාගාරය බදුල්ල ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කෙරෙයි

ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 5 29ක් හා රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය සහ ඉරාන රජය මගින් නම් කරන ලද කොන්ත්‍රාත්කරු වන, ෆෙරාබ් බලශක්ති හා ජල ව්‍යාපෘති සමාගම (Farab Energy and Water Project Company) අතර කොන්ත්‍රාත්තුව 2008 අප්‍රේල් මස 28 දින අත්සන් තබන ලද අතර, 2010 මාර්තු මාසයේ සිට කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරනු ලැබීය.

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කළ නමුත්, යම් යම් හේතූන් මත ප්‍රමාදවූ උමා ඔය ජලවිදුලි ව්‍යාපෘතිය, වර්තමාන විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත ලබන වසරේ අප්‍රේල් – අගෝස්තු යන කාලසීමාව තුලදි නිම කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here