Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

‘එතෙර අපි’ වෙතින් සයිප්‍රස් රජයෙන් විශේෂ ඉල්ලීමක්

සයිප්‍රසයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ගොඩනගා ඇති සමාජ රක්ෂණ ප්‍රතිලාභ අරමුදල ලබාගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීම නිසා සයිප්‍රසයේ සේවය කොට ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

ඇතැම් පුද්ගලයින්ගේ සමාජ රක්ෂණ ප්‍රතිලාභ අරමුදල ලක්ෂ 20 හෝ 25 තරම් විශාල ප්‍රමාණයක් වෙයි. මෙම අරමුදල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සයිප්‍රස් රජය සමඟ අත්සන් කළ යුතු රාජතාන්ත්‍රික ගිවිසුම් අත්සන් කිරීමට පියවර නොගැනීම මෙම ගැටලුවට හේතුව වී තිබේ.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් සමාජ රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සයිප්‍රස් ශ්‍රී ලාංකික සේවක එකමුතුව පසුගිය නමවෙනිදා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට පෙත්සමක්ද භාරදීමට කටයුතු කළේය. මෙම ගැටලුවට විසඳීම සඳහා එතෙර අපි සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිද මුල සිටම මැදිහත් විය.

කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ගැටලුවක් ඇති බව පිළිගෙන ඇති අතර ඔහු ඒ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කොට තිබේ. මේ අතර එතෙර අපි සංවිධානය, සයිප්‍රස් රජයේ විදේශ කටයුතු ඇමතිවරයා සමඟ මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා සෘජු සාකච්ඡාවක් ලබාගැනීමට අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් සයිප්‍රස් රජයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට එතෙර අපි සංවිධානයේ සභාපතිවරයා විසින් තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: