Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පොලිස් සේවාව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ඉහල සේවාවක් බවට පත් කරනවා:ජනපති

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනාධිපති ගරු මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(08) පස්වරුවේ පැවැත්වුණු අතර, එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ලොව දියුණු රටවල පොලිස් සේවාවන් හා සැසඳීමේ දී ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනස්කම් රැසකට භාජනය විය යුතු ව තිබෙන බවයි.

එම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමීප කරවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වශයෙන් සිදුකළ යුතු පරිවර්තනීය වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් ඉකුත් මාස කිහිපය තුළ ආරම්භ කළ බව ජනාධිපතිතුමා පැවසීය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය අද මහජන සුබසාධන සේවාවන්වල දී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

ඊයේ පස්වරුවේ කලුතර පොලිස් අභ්‍යාස ආයතනය වෙත ගිය ජනාධිපතිතුමා පොලිස් උත්තමාචාර මධ්‍යයේ අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉතිහාසය තුළ පොලිස් කාන්තා බලඇණියක් විසිර ගිය ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක් වන අතර පොලිස් අභ්‍යාස ආයතනයේ පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ කාන්තා කොස්තාපල්වරියන් 586 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියන් 27 දෙනෙකු ඇතුළු 613 දෙනෙකු ඊයේ දින විසිර ගියහ.

විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරිනියන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: