ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කෙරේ

ශ්‍රී ලංකේය ඉතිහාසට අලුත් පරිච්ඡේයක් එක් කරමින් අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම 2019 අප්‍රේල් මස 08 වැනිදා එනම් ලබන සඳුදා සිදු කරේ. ඒ ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතිනි.

දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ පැවැත්වෙන එහි ජාතික මහෝත්සවය එදින උදෑසන නවයට මාතර දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන්නේ උදෑසන අටයි තිහට වේ. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන් ආරම්භ කරයි. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය ළඟා වීමෙන් පසුව ජාතික මහෝත්සවය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමන් පරිශ්‍රයේ පැවැත්වේ.

ශ්‍රී ලංකාවට දුම්රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් හඳුන්වාදෙන්නේ 1864 දීය. උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටළුවලට විසදුමක් ලෙසට ඔවුහු ලංකාවට දුම්රිය මාර්ගය හඳුන්වා දුන්හ. එහි මුල්ම පියවර වූයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක ප්‍රධාන මාර්ගය ඉදිකිරීමයි. අනතුරුව පිළිවෙලින් 1864, 1874, 1885, 1894 සහ 1924දී ප්‍රධාන දුම්රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කෙරිණ. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දීත් මුහුදුබඩ මාර්ගය 1895දීත්, උතුරු මාර්ගය 1905දීත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දීත් කැලණිවැලි මාර්ගය 1919 දිත් පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කෙරිණ. කිලෝමීටර් 13.58ක දුරකින් යුත් අනුරාධ පුරයේ සිට මිහින්තලාව දක්වා උතුරු දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව 1991දී සිදු කෙරිණ. කතරගම දුම්රිය යන සංකල්පය මුල්වරට හඳුන්වා දුන්නේද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වේ.

මාතර – කතරගම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයක් පළමුවරට සිදු වන්නේ 1990 වර්ෂයේදීයි. ඒ සඳහා එවකට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ කොරියා ඉදිකිරිම් අමාත්‍යාංශය අතර ගිවිසුමක් 1990 අත්සන් කෙරිණ. කොරියානු ජාත්‍යන්තර උපදේශන ආයතනය (KCI) එම ශක්‍යතා අධ්‍යයනය 1990 දෙසැම්බර් මස නොමිලේ ආරම්භ කරන්නේ එම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස වේ. 1991 ජුනි මසදී එම ශක්‍යතා අධ්‍යයන වාර්තාව ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදී ඇත. එම අධ්‍යයනයේදී යෝජනා වූ දුම්රිය මාර්ග පථ ගණන තුනකි. දුම්රිය මාර්ගය මාතර සිට කැකණදුර, බඹරැන්ද, දික්වැල්ල, සීනිමෝදර, තංගල්ල, මැදගම, රන්න, හුංගම, නෝනාගම, අම්බලන්ගොඩ, හම්බන්තොට, බුන්දල, වීරවිල, තිස්සමහාරාමය, බෝගහපැලැස්ස, කතරගම දක්වා ඉදිකිරීමටත් එම ශක්‍යතා අධ්‍යයන වාර්තාවෙන් නිර්දේශ කෙරිණ. නිර්දේශිත දුම්රිය මාර්ගය කතරගම දක්වා කිලෝ මීටර සියයක් වේ. එම දුම්රිය මාර්ගය ඉදිකිරීමට එවකට ජනාධිපති ධුරයේ සිටි ගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව එනම් 1992 වර්ෂයේදී එවක ප්‍රවාහන අමාත්‍ය ගරු විජේපාල මෙන්ඩිස් මැතිතුමා දුම්රිය මාර්ගය ඉදි කිරිමට මාතරදි මුල්ගල තැබීය.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මාතර දුම්රිය ස්ථානයෙන් එපිටට පළමුවරට දුම්රියක් ධාවන වන්නේ 2001 වර්ෂයේදීයි. ඒ එවකට ප්‍රවාහන හා පරිසර අමාත්‍ය ධුරය දෑරු ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ නාගරික සංවර්ධන මහජන උපයෝගිතා අමාත්‍ය ධුරය දැරූ ගරු මංගල සමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිලදූව දක්වා දුම්රියක් ධාවනය කිරීමෙනි. නැවත 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ “නව දුම්රිය මාර්ග අමාත්‍යාංශය” ලෙස වෙනම අමාත්‍යාංශයක් පිහිටු වීය. එම අමාත්‍යාංශයේ ප්‍රථම අමාත්‍යවරයා වූයේ ගරු මහින්ද අමරවීර මැතිතුමායි. මාතර දුම්රිය මාර්ගය දිග් කිරීමේ ව්‍යාපෘතියෙහි පළමු අදියර වශයෙන් මාතර – බෙලිඅත්ත දක්වා ඉදිකරිම් සිදු කළ යුතු බවට තීරණය වූයේ එහිදී වේ.

වර්ෂ 2005 වර්ෂයේදී මාතර දුම්රිය මාර්ගය දිග් කිරීමේ ව්‍යාපෘතිය මුල් යෝජනාවට වඩා වෙනස් වූවකි. එනම් මුල් යෝජනාවේදී මාතර කතරගම දුම්රිය මාර්ගය තංගල්ල හරහා වැටී තිබුණත් නව යෝනාවේදී එය බෙලිඅත්තට මාරු විය. කිලෝමිටර් 26.75ක දුරකින් යුත් එම මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමට චයිනා නැෂනල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (CMC) සමාගම ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ වානිජ ගිවිසුම අත්සන් කරන්නේ 2010 අගොස්තු පස්වැනි දින වේ. ඉන් අනතුරුව 2013 පෙබරවාරි මස සහ මාර්තු මස මුදල් අමාත්‍යාංශය චයිනා එක්සිම් බැංකුව සමඟ දුම්රිය මාර්ග ඉදිකිරීමට ඩොලර් මිලියන 278ක සහන ණය ගිවිසුමකට එළැඹීය. වසර 03කින් නිම කළ එම දුම්රිය මාර්ගයේ පළමු නීරීක්ෂණ දුම්රිය ධාවන කෙරුණේ 2018 ජනවාරි 06 වැනිදා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙනි. එම දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම 2018 අප්‍රේල් මස 08 වැනිදා උදෑසන 09.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් සිදුවන්නේ දුම්රිය S – 12 වර්ගයේ වායුසමනය කළ දුම්රියක් එම මාර්ගයේ ධාවන කරමිනි. මැදිරි අටකින් යුත් එම දුම්රිය චීන නිෂ්පාදනයක් වේ. පැයට කිලෝමීර් 120ක වේගයෙන් ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි විස්සකි.

අභිනවයෙන් විවෘත කෙරෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරනා දුම්රිය 7ක් වේ. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් පහකම ගමනාන්තය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන් කරයි.

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ. මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි.

මාතර බෙලිඅත්ත මාර්ගය දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී මාර්ගයකි. විශේෂයෙන්ම මෙතෙක් ලංකාවේ දුම්රිය මාර්ගයක හමුවන දිගම පාළම වූයේ මනම්පිටිය පාළම වේ. එහි දිග මීටර් 291කි. ඉදිකර ඇත්තේ 1922දීය. නමුත් දුම්රිය ධාවනය ඇරඹී ඇත්තේ 1927දීය. හරියටම අනූ දෙවසරක් දිගම පාළමට හිමි කිරුළ දරාසිටි මෙම පාළම තෙවැනි තැනට ඇද දමමින් ලංකාවේ දිගින් වැඩිම සහ දෙවැනියට දිගින් වැඩිම පාළම් වල භූමිකාව ලබන සඳුදා සිට හිමිවන්නේ මාතර- බෙලිඅත්ත දුම්රිය මඟේ ඉදිවූ පාළම් දෙකකටය.

බෙලිඅත්ත දුම්රිය මඟෙහි හමුවන ලංකාවේ දිගම දුම්රිය පාළම මීටර 1500ක් දිගය. එය “වටගම” පාළම ලෙස හඳුන්වයි. නමුත් එය ඉදිව ඇත්තේ ගංගාවක් හරහා නොව ගොඩබිම් ප්‍රදේශයක් හරහාය. නිල්වලා ගඟ හරහා ඉදිව ඇති පාළම මීටර 1400ක් දිගය. එසේම මෙරටදී පොළොව මට්ටමේ සිට වැඩිම උසකින් යුතු දුම්රිය පාලමද බෙලිඅත්ත දුම්රිය මාර්ගයේදී දැකගත හැකිය. ඒ වෙහෙරගොඩ ප්‍රදේශයේදීය. වෙහෙරගොඩ පාලම නමින් හැඳින්වෙන මෙම පාලම මීටර් 21ක (අඩි68ක් පමණ) උසකින් යුක්තය.

මෙතෙක් ලංකාවේ දිගම බිංගෙය ලෙස සැළැකූ කොළඹින් සැතැපුම් 108.73ක් දුරින් පිහිටි සිංගිමලේ බිංගෙය දෙවැනි තැනට ඇද දමමින් දුම්රිය උමඟක් බෙලිඅත්ත මාර්ගයේ ඉදිව තිබේ. දිඟින් වැඩිම දුම්රිය උමඟ කැකණදුර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇත. සිංගිමලේ උමඟ දිගින් අඩි 1835කි. නව උමඟ අඩි 2017ක් දිගය. එසේම එම මාර්ගයේ හමුවන අඩි 879ක් දිග බමරැන්ද උමඟ මෙරට හමුවන සිව්වැනියට දිඟම උමඟ බවට පත්වනු ඇත.

ලංකාවේ දිගම දුම්රිය ස්ථානය ලෙස බෙලිඅත්ත දුම්රිය පොළ වාර්තාවක් තබනු ඇත්තේ කොළඹ කොටුව වේදිකා දෙවැනි තැනට ඇද දමමිනි. 1915 දුම්රිය ස්ථාන නාමාවලිය තුළ බ්‍රිතාන්‍ය ජාතිකයින් බෙලිඅත්තට ලබාදුන් සංකේතය වූයේ BEL යන සංකේත නාමයමයි. එම සංකේත නාමයම ලබන සදුදා සිට භාවිතයට ගන්නට වර්තමාන දුම්රිය බළධාරීන් කටයුතු කරන ඇත.

තමීර මංජු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here