Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට

“සිරිසර පිවිසුම” වැව් 500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කෙරුණු පදවිය, ශ්‍රීපුර කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ සිදු විය.

එමෙන්ම උතුර දකුණ යා කරන ජාතීන් අතර සංහිඳියා යාන්ත්‍රණයට ජීවය දෙමින් ක්‍රියාත්මක වන “එකටසිටිමු” වැඩසටහන යටතේ ජනතාව අතර සංහිඳියා සංකල්පය ප්‍රචලිත කිරීමත් එහි අර්ථය තවදුරටත් ජනතාවට අවබෝධ කරවීමත් අමුණු කොට ගනිමින් ,සිරිසර අවුරුදු වන අරණක අවුරුදු උදාව, හෙළ අවුරුදු මංගල්‍යය අද  දිනය පුරා කොලොන්ගොල්ල වැව්තාවුල්ලේ දී පැවැත්වෙන අතර එම අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.

සියක් නමක් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ප්‍රතිසංස්කරණය කෙරුණු කොලොන්ගොල්ල වැව ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.

සතර දෙසින් පැමිණි ප්‍රජාව විසින් තම බව බෝග ජනාධිපතිතුමා වෙත ලබාදෙමින් ඒවා හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

අනතුරුව ජනාධිපතිතුමා විසින් පිරිත් පැන් වැව් ජලය වෙත මුදාහැරිය අතර මත්ස්‍ය පැටවුන් වැව වෙත මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ආදිවාසි ජනතාව විසින් මෙහිදී සම්ප්‍රදායානුකූලව කිරිකොරහ නර්තනය ඉදිරිපත් කළ අතර අනතුරුව අමුත්තන් ගැමි ගෙදර වෙත කැඳවාගෙන ගොස් හෙළ සංස්කෘතියට අනුව කැවිලි පෙවිලිවලින් සංග්‍රහ කෙරිණි.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා, ආදිවාසි නායක වන්නිලා ඇත්තන්, යුද හමුදාපතිතුමා, වන්නි ආඥාපති ඇතුළු පිරිස ගැමිගෙදර දී සංවාදයකට ද එක් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: