Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අවුරුද්දට විතරක් නෙමෙයි විදුලි ප්‍රශ්නේ සදහටම විසදන්න රවිගෙන් පොරොන්දුවක්

සිංහල දෙමළ අළුත් අවුරුද්දට පමණක් නෙමෙයි ඉන් පසුවත් විදුලි කප්පාදුව නතර කරන බවත් ජනාධිපති, අගමැතිගේ අවසරය පරිදි ඉදිරියේදී එක මිනිත්තුවක්වත් විදුලිය ඇණහිටීමක් නැතිවන ආකාරයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසිය.

” අද දේශපාලනය ලෙහෙසි ගමනක් නෙමෙයි. සමහරු ඇති දේවල් නැති කරනවා. නැති දේවල් ඇති කරනවා. ඒ වගේ බැරෑරුම් ගමනක් යන දේශපාලඥයෙක් තමයි මම. මම මේ විදුලිබල ක්ෂේත්‍රය භාර අරගෙන තවමත් දින 72 යි. මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසදනවා. ඒක විශ්වකර්මයක් නෙමෙයි. තාවකාලිකව අප සිදුකරන ඒ දේ, වසර එකහමාරකින් ස්ථිරව ඉටුකරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කළා.

අපේ අද පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි ප්‍රධානම කරුණ තමයි මේ පවතින වියළි කාලගුණික තත්ත්වය. ඒ වගේම හරි වේලාවට නිසි තීන්දු තීරණ නොගැනීමත් මෙයට බලපාන හේතුවක්. 2010 ඉදලා එකම මෙගාවොට් එකක්වත් අපේ ජාලයට එකතු වෙලා නැහැ. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. මේ සදහා විදුලිය පිරිමැසීමත් අත්‍යාවශ්‍යයි. අපි රු. 23.00 කට නිපදවන ඒකකයක් දෙන්නේ රු. 16.00 කට. රු.7.00 ක පරතරයක් තියෙනවා. මේ පරතරයේ අලාභය වර්ෂයකට බිලියන 80 ක් වෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් මෙම අලාභයන් වෙනුවෙන් 6% ක් වගේ ප්‍රමාණයක් වෙන්කරනවා. මේ තත්ත්වය දැන් දරාගන්න බැරි මට්ටමට ඇවිත් තිබෙන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: