Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මතින් තොර දේශයක්..

මතින් තොර දේශයක් ගොඩ නැගිමට දායක වීම කාගෙත් වගකිමක්, යුතුකමක් . අද වන විට මාතෘභූමිය මත් රකුසාගේ ගොදුරක් බවට පත් වි හමාරය.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටළුව පැන නගින්නේ අදක ඊයෙක සිට නොවේ.
මෙය පැරණි සමාජයේද දැවෙන ප්‍රශ්නයක් බවට පත් වි තිබුනි .

පැරණි යුගයේ අබිං කෑම සමාජ ප්‍රශ්නයක් වු නිසාම ඒ සඳහා 1867 අංක 19 දරන අබිං සහ කංසා ආඥා පනත පනවන ලදි.කෙසේ වෙතත් 1978 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමග මත්ද්‍රව්‍ය දිවයින පුරා වේගවත්ව ප්‍රචලිත විය.

70 දශකය අවසානයේ භයානක මත්ද්‍රව්‍ය වන හෙරොයින් රටේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වීම ආරම්භ වුනි.එතැන් පටන් අද වන තෙක් ලාංකිය සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ලෙස මෙම හෙරොයින් සම්බන්ධ ගැටළුව හැදින්විය හැකියි.

මෙම මත්ද්‍රව්‍ය ගැටළුව වර්ධනය වීමට බලපෑ තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ශ්‍රි ලංකාව පිහිටා ඇති ස්ථානයයි.

එනම් ලංකාවට ආසන්න ප්‍රදේශ දෙකක් ලෝකයටම විෂ මත් ද්‍රව්‍ය නිපදවන කලාප දෙකක් වීමයි.එ් නැගෙනහිර දෙසින් ස්වර්ණමය ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ලාඕසය, තායිලන්තය, බුරුමය යන රටවල් ඇති කලාපයද, බටහිරින් ස්වර්ණ චන්ද්‍රවංකය ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්ථානය,ඉරානය, පකිස්ථානය යන රටවල් ඇති කලාපය යන දෙකය. ශ්‍රී ලංකාව මෙම කලාප දෙකටම මධ්‍යයේ පිහිටා තිබීම මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වීමට හේතුවක් වි ඇත.

එසේම සංචාරක ව්‍යාපාරය නිසාද මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැඩි වි තිබේ.සංචාරකයෝ ජාත්‍යන්තරව මත් ද්‍රව්‍ය ප්‍රවාහකයන් ලෙස කටයුතු කිරීම නිසා පහසුවෙන් ලංකාවට මත් ද්‍රව්‍ය රැගෙන එනු ලබයි. මේ හරහා තරුණ ‍කොටස් මත්ද්‍රව්‍ය සඳහා පෙළඹිම සීඝ්‍රයෙන් වැඩි වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ වාර්තා වලට අනුව පසුගිය වර්ෂයේ මත්ද්‍රව්‍ය සමග මෙරටදි අත්අඩංගුවට ගත් විදේශිකයින් ප්‍රමානය 41 ක් බව පැවසෙයි .

එසේම හෙරායින් සම්බන්ධයෙන් පමණක් පසුගිය වර්ෂයේ පුද්ගලයින් 344 ක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

කෙසේවෙතත් මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරිමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට සුදානම් වන මොහොතක ආගම දහම පැත්තෙන් සිදුවිය යුතු කාර්ය භාරයන්ද නැතුවාම නොවේ.

තරුණ පිරිස අතර ගුණාත්මක සංවර්ධනය සදහා අවශ්‍ය උපදේශන සේවා ක්‍රියාත්මක විය යුතුය.එසේම පුනරුත්ථාපන කටයුතු සිදු කරනවා සේම මනෝ උපදේශන කටයුතු සිදුකිරිම පිලබදවද වැඩි අවධානයක් යොමු කිරිමට කාලය එලඹ ඇත.විශේෂයෙන් පාසල් දරුවන් මේ උවදුරෙන් ගලවා ගැනිමට විධිමත් වැඩ පිලිවෙලක් සකස් විය යුතුයි .

කෙසේවෙතත් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා පුළුල් ආකල්පමය වෙනසක් තුළින් මෙය පිටුදැකීමේ කාලය එලඹ තිබේ.

ඒ සඳහා ප්‍රවේශය සනිටුහන් කරමින්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිවාරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා සිදු කෙරෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන බව සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානු ද මේ වන විට තමා තීරණය කර අවසන් බව ජනාධිපතිතුමා සදහන් කරයි.

මෙලෙස මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරිමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිම ප්‍රශංසනීය වෙයි.

මේ සඳහා සියලු⁣දෙනාම වගකීමෙන් කටයුතු කලහොත් රට මත් රකුසාගෙන් ගලවා ගන්නා කාලය වැඩි ඈතක නොවෙයි.

වරුණි පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: