ජන්ද කල් දැමිමේ වරදට දඬුවම අයවැයෙන් දුන්නා : ඩි.වි චානක

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතැම් වැය ශීර්ෂ පසුගියදා පාර්ලිමේන්තුදී පරාජයට පත්විය. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද ප්‍රකාශ කළේ පක්ෂ නායකයින්ගේ තීරණයට පිටුපා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අදාල වැය ශීර්ෂ පරාජය කිරීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය සේවකයින් ලක්ෂ පහ හමාරකට පමන අලුත් අවුරුද්දට පෙර වැටුප් ලබාදීමට ගැටළුවක් වී ඇති බවයි. එහි වගකීම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් භාරගත යුතු බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි. එසේ නම් මෙහි වගකීම භාරගන්නේදැයි Colombo Gazette Sinhala අපි විමසිමක් කලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මන්ත්‍රීවරයාගෙන්.

සැබවින්ම මේ වැය ශීර්ෂ පරාජය කිරීමේ අරමුණ කුමක් ද?

ප්‍රධාන වශයෙන් රටට පණිවිඩයක් දෙන්න අවශ්‍ය වුනා මේ ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල්දමමින් ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම කඩකරමින් ගෙනයන වැඩපිලිවල පිලිබඳව. ඒ නිසා මුල ඉඳලම හිතාගෙන හිටිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය කරනවා කියල. ඒ අනුව ඉතා සූක්ෂමව වැඩ කරල අපි ඒක පරාජය කළා. ඒ වගේම එදා තිබුනු චම්පික රණවක මහතාගේ වැය ශීර්ෂයත් පරාජය කළා. මොකද ඒකට අපිට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙලෙනුත් සහයෝගය ලැබුනා. එතුමනන්ලටත් චම්පික ඇමතිතුමා සමග විරුද්ධත්වයක් ඇති.

වැය ශීර්ෂ පරජය කිරීම තුළින් වැඩි බලපෑම එල්ල වුනේ පළාත් සභා හා පළාත් පාලන ආයතන වල කටයුතු වලට මේ පිලිබඳව ඔබලගෙ කන්ඩායමට අවබෝධයක් තිබුන ද?

පළාත් සභා වල මුදල් පාවිච්චි කිරීමේ බලය තියෙන්නෙ සභිකයින්ට. දැන් රටේ ජනාධිපතිවරයෙක් පත්වුනත් මුදල් පාලන බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. පළාත් සභාවේ මූල්‍ය පාලන බලය තියෙන්නෙත් එහි ජනතා නියෝජිතයින්ට. නමුත් දැන් පළාත් සභාවල මුදල් පාලනය වෙන්නෙ ආණ්ඩුකාරවරු හරහායි. මේක පලාත් සභා පනත උල්ලංඝනය කිරීමක්. ඒක නීතිවිරෝධීයි. ඒ නිසා මේක පරාජය කිරීම නිත්‍යානුකූලයි. මේ වෙලාවෙ රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේක. පළාත් සභාව ආණ්ඩුකාරවරයා හරහා පාලනය කිරීම අවිනීත ක්‍රියාවක් විදිහට අපි දකිනව.

පළාත් සභා හා පළාත් පාලන ආයතන බහුතරයක බලය තියෙන්නෙ ඔබලගෙ අතේ. එවැනි අවස්ථාවක ඔබල කොහොමද මේකට මුහුන දෙන්නෙ?

අප්‍රේල් වෙනකොට පළාත් සභා අටක්ම විසිරිල ඉවරයි. තවත් එකයි තියෙන්නෙ. මේ වෙනකොට සියයට අසූඅටක් පමනම ඉවරයි. ඒ නිසා ලොකු බලපෑමක් එල්ල කරන්නෙ මැතිවරණයකට යන්න. ජනාතාවට ඉඩදෙන්න ඕනෙ තමන්ගෙ නියෝජිතය තෝරන්න. ඒ නායකයින් හරහා තමන්ගෙ ගම්වල වැඩ කරගන්න ඒ ප්‍රතිපාදන යොදන විදිහ ජනතාව තීරණය කරයි. එහෙම නැතුව මේ රාජ්‍ය සේවකියින් හරහා මෙය කිරීමටඋත්සහ දැරීම ඒකාධිපතිත්වයක්. මොකද තමන්ට අවශ්‍ය කෙනෙක් ආණ්ඩුකාරයා කරන් ඒ හරහා ඒ දේවල් කරනවනම් රටට ඡන්ද ක්‍රමයක් ඕනේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෙත් නෑ.

ඔබතුමාල ගත්ත ක්‍රියාමාර්ගය හේතුවෙන් පලාත් සභා හා පළාත් පාලන ආයතන වල සේවයේ නියුතු රාජ්‍ය සේවකයින්ට අවුරුද්දට කලින් වැටුප් ලබාදීමට නොහැකි වන බවට වජිර අබේවර්ධන මහතා චෝදනාවක් කළා .ඒ ගැන මොකද කියන්නෙ?

රජය අයවැයක් පරාජය වුනාම ආණ්ඩුව කියනවනම් ඒකට විපක්ෂය වගකියන්න ඕනෙ කියල ඒ අයගෙ වගකීම මොකක්ද? එහෙනම් ආණ්ඩු පක්ෂයක් ඕනෙ නෑනෙ. තමන්ගෙ වැය ශීර්ෂයක් වත් පාස් කරගන්න බැරිනම් එහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද? එතුමන්ලට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවනම් පාර්ලිමේන්තුවේ රැඳී ඉඳල තමන්ගෙ අයවැය පාස්කරගැනීමේ වගකීම එතුමන්ලට තියෙනවා. අපි කරන්නෙ විපක්ෂයේ කාර්යභාරය. අපි කළ යුත්තෙ ආණ්ඩුව වැරදි කරනවනම්, මැතිවරණ ලබා නොදෙනවනම් ඊට එරෙහිව කටයුතු කිරීම. හැබැයි ආණ්ඩුවට වගකීමක් තියෙනවා රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්න.

මෙම ක්‍රියාමාර්ගය හරහා උද්ගත වෙලා තිබෙන අර්බුදයෙන් ගොඩඑන්නෙ කොහොමද?

කළ යුතු ප්‍රධානම කාර්ය තමයි කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම. ඕනෙ නම් ආණ්ඩුවට පුළුවං මේ වැය ශීර්ෂ නැවත ඉදිරිපත් කරගෙන සම්මත කරගන්න. හැබැයි මේ වෙලාවෙ සුදුසුම දේ ජනතාවගෙ ඡන්ද අයිතිය ලබාදීම. පළාත් සභා වල ජනතා නියෝජිතයින් නැත්නම් මොකටද නිළධාරීන් තියාගෙන ඉන්නෙ.

මේ හරහා ඇතිවන ජනතා අප්‍රසාදයට කොහොමද මුහුණ දෙන්නෙ?

ජනතාව කිසිසේත්ම අපි කෙරෙහි අප්‍රසාදයක් ඇති කරගන්නෙ නැහැ ජනතාවට ඕනෙත් ජන්දයක්. ඕනම රටක ජන්දතය තුළින් තමයි ආණ්ඩුවක් වැරදි මාර්ගයක යනවනම් හරි මාර්ගයකට ගන්නෙ.මේ ආණ්ඩුව සියලුම ජන්ද කල්දමනවා .ජනතාවගේ කැමැත්ත බලන්නෙ නැහැ.ආණ්ඩුව සම්පුර්ණ මේ වගකීම භාරගන්න.

සංවාදය වරුණි පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here