වන විනාශය වළක්වමු ජාතිවාදය පරදවමු ජවිපෙන් වැඩක්

විල්පත්තුව අභය භූමිය පිළිබඳව නැවත වටයකින් රට තුළ සාකච්ඡාවක් මතුව තිබේ. රට පුරා විවිධ ප්‍රදේශවල විශාල වශයෙන් වන විනාශයන් සිදුවෙමින් තිබෙන අතර විල්පත්තුව පමණක් මාතෘකාවක් බවට පත්වන්නේ මන්දැයි ඇතැම්හු ප්‍රශ්න කරමින් සිටිති.

පරිසර අමාත්‍ය ධුරය දරන්නේද රටේ විධායක ජනාධිපතිවරයා වන තත්වයක් තුළදීත් පරිසරය විනාශය වැළැක්වීමට පියවර නොගන්නේ මන්දැයි තවත් අය ප්‍රශ්න කරමින් සිටිති. මේ තත්වයන් සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුව තිබේ. “අලුතෙන් කැලය කපන නිසා විල්පත්තුව ගැන සංවාදයක් මතුවුණා නෙවෙයි. මේ ප්‍රශ්නය තිබුණේ මීට අවුරුදු හතරකට පහකටත් කලින්. දැන් මේ සංවාද ආවේ පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විකුණනවා කියලා සංවාදයක් ආපු නිසයි. ඒකටත් නම ගෑවෙන්නේ රිෂාඞ් බදුර්දීන්.

විල්පත්තු ප්‍රශ්නය ගැන අපි 2014 ඉඳලම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. ඒකට හරි විසඳුමක් දෙන්න ආණ්ඩුවට බැරි වුණා.” විජිත හේරත් කීවේය. “අපි මුල් අවස්ථාවේ ඉඳලම මේ විල්පත්තු ප්‍රශ්නයට මැදිහත් වුණා. මමත් අපේ වසන්ත සමරසිංහලා, නාමල් කරුණාරත්නලා 2015 මැයි මාසයේ විල්පත්තු ගියා. ප්‍රදේශවාසීන් හමුවුණා. දිස්ත්‍රික් ලේකම් ඇතුළු රජයේ වගකිව යුතු නිලධාරීන් හමුවුණා. ඒ වෙලාවෙත් දිස්ත්‍රික් ලේකම් කිව්වේ සියලු කටයුතු නීත්‍යානුකූලව සිදුවෙනවා කියලා. නීති විරෝධී විදියට කැලේ කපන්නේ නැහැ කිවුවා. නමුත් අපි හිටපු ස්ථාවරය තමයි අවතැන් අය පදිංචි කළ යුතුයි වගේම වන විනාශය වළක්වන්න උපරිමයෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන එක. මොකද එක පැත්තක්වත් නොසලකා හරින්න අපිට බැහැ.” ලාල්කාන්ත අදහස් දක්වමින් පවසයි.

“ආණ්ඩුව මේ ප්‍රශ්නයට හරියට මැදිහත් නොවෙන නිසා මේක හිඟන්නගෙ තුවාලය වෙලා තියෙන්නේ. රිෂාඞ් බදුර්දීන් මේ ප්‍රශ්නයට වගකිව යුතුයි කියලා ආණ්ඩුව ප්‍රශ්නය මඟහරින නිසා මේක දැන් ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත්වෙලා. වන විනාශය වළක්වන්න උපරිමයෙන් කටයුතු කරනවා වගේම ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන එක වළක්වන්නත් ඕනෑ. වගකිව යුතු දේශපාලන පක්ෂයක් විදියට අපි මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕනෑ. ප්‍රශ්නය නොවිසඳීමේ වගකීම ආණ්ඩුව භාර ගන්න ඕනෑ.” ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය. “ඇතැම් කරුණු ගැන තොරතුරු හරියට වාර්තා නොවෙන නිසා තමයි මේ ප්‍රශ්න මතුවෙලා තිබෙන්නේ. ගොඩක් අය මේ හැම ප්‍රශ්නයක්ම බලන්නේ තමන් නියෝජනය කරන දේශපාලන මතය එක්කයි. ඒ නිසා ඇත්ත බොහෝ වෙලාවට එළියට එන්නේ නැහැ. කොහොම නමුත් විල්පත්තු ප්‍රශ්නය ගැනත් පුල්මුඬේ ඛනිජ වැලි නිධිය ගැනත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න ඕනෑ. ඇත්ත ප්‍රශ්නය දැන් විල්පත්තු විතරක් නෙවෙයි රට පුරා මහා වන විනාශයක් වෙනවා. නක්ල්ස්වල එනසාල් වවනවා. කැලෑ කප කපා නිවාස ඇමති ගිනි පෙට්ටි ගෙවල් හදනවා. මේ හැම දෙයක් ගැනම ජාතික මට්ටමේ සංවාදයක් ඕනෑ.” යනුවෙන් අනුර දිසානායක මහතා පැවසුවේය.

AS.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here